පෙබරවාරි 06 – දේවබලයෙන් ලෙඩ සුව කරන බව පවසමින් රෝගියකු පොල්කටු අඟුරු සහ පන්දම්වලින් පුලුස්සා තුවාල සිදුකිරීමේ සිද්ධියකට අදාළව ඇප මත සිටි සැකකරුවන් දෙදෙනෙකු සහ කාන්තාවකට එරෙහිව සංශෝධිත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරන ලෙස ගාල්ල මහේස්ත්‍රාත් සමීර දොඩංගොඩ මහතා අහංගම පොලීසියට නියෝග කළේය. පසුගිය වසරේ අගෝස්තු මස අහංගම ප්‍රදේශයේ දේවාලයකදී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී ඇත්තේ 40 හැවිරිදි පුද්ගලයෙකි.
සිද්ධිය වන අවස්ථාවේ ගිහියන් ලෙස සිටි මෙහි ප්‍රධාන සැකකාර “වෙදා” සහ ඔහුගේ “ගෝලයා” නඩුව යළි කැඳවූ අවස්ථාවේදී අධිකරණයට පැමිණ සිටියේ සිවුරු හැඳ පැවිදි පුද්ගලයන් ලෙසය. ඔවුන් නඩු දිනයට මාසයකට පෙර පැවිදි වී ඇති බව එහිදී අනාවරණය විය. පොලීසිය විසින් සකස් කර තිබූ චෝදනා පත්‍රයේ ඔවුන්ගේ ගිහි නම් පමණක් සඳහන්ව තිබීම හේතුවෙන්, පැවිදි නාමයන් ද ඇතුළත් කර නව චෝදනා පත්‍රයක් සකසන ලෙසත්, සැකකාර හිමිවරුන් අහංගම පොලීසියට ගොස් ප්‍රකාශ ලබාදිය යුතු බවත් මහේස්ත්‍රාත්වරයා නියම කළේය. වින්දිතයාගේ අධිකරණ වෛද්‍ය වාර්තාව කැඳවූ අධිකරණය නඩුව අප්‍රේල් 16 වනදා දක්වා කල් තැබීය.














