දේශීය කුඩා පරිමාණ කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීම වෙනුවෙන් මීට පෙර (2020-11-09 දින) ලබා දුන් අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව යකඩ, තඹ, ඇලුමිනියම්, සුදු යකඩ, අධි කාබන් යකඩ, පිත්තල සහ චිනච්චට්ටි යන ලෝහවල අබලි ලෝහ (Scrap Metals) මෙන්ම ඇලුමිනියම් කුට්ටි, සින්ක් කුට්ටි සහ තඹ කම්බි අපනයනය කිරීම දැනටමත් අත්හිටුවා තිබේ.
මෙරට දේශීය නිෂ්පාදන කර්මාන්ත සඳහා අවශ්‍ය කරන ලෝහ අවශ්‍යතාවයෙන් සැලකිය යුතු කොටසක් සපයා ගන්නේ දේශීයව එක්රැස් කරගන්නා මෙම අබලි ලෝහ මඟිනි. එසේ වුවද, ඇතැම් පාර්ශ්වයන් විසින් විවිධ සංයෝජිත වර්ගීකරණ සංකේතාංක (HS Codes) යටතේ වෙනස් ආකාරයකින් අර්ථකථනය කරමින් ලෝහ ආශ්‍රිත ව්‍යාජ නිෂ්පාදන සහ අබලි ලෝහ සෘජුවම අපනයනය කිරීමට කටයුතු කර ඇත. මෙම ක්‍රියාවලිය හේතුවෙන් දේශීය කර්මාන්ත සඳහා මෙරටින්ම සපයාගත හැකි ලෝහ ආශ්‍රිත අමුද්‍රව්‍යවල දැඩි හිඟයක් නිර්මාණය වී තිබේ.
මෙම තත්ත්වය ගැඹුරින් සලකා බලා, දේශීය කර්මාන්තකරුවන්ට සිදුවන අගතිය වැළැක්වීම සඳහාත්, අබලි ලෝහ හොර රහසේ අපනයනය කිරීම නැවැත්වීම සඳහාත් අවශ්‍ය දැඩි නීතිමය විධිවිධාන පැනවීමට කටයුතු යොදා ඇත. ඒ අනුව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.














