ඉන්දීය රජයේ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කරවන ලද දෙව්නි මෝරි (Devnimori) ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කිරීමට බලාපොරොත්තු වන සැදැහැවතුන්, හෙට (10) රාත්‍රී 10ට පෙර පෝලිමට එකතු විය යුතු බව කොළඹ ගංගාරාමාධිපති ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ දන්වා සිටිති.
ධාතූන් වහන්සේ බදාදා (11) උදෑසන 6ට නැවත ඉන්දියාව බලා වැඩම කරවීමට නියමිත බැවින්, හෙට රාත්‍රී 10න් පසු පෝලිමට අලුතින් සැදැහැවතුන් එක් කර නොගන්නා බව උන්වහන්සේ පැවසූහ. කෙසේ වෙතත්, එම වේලාවට පෙර පෝලිමට එක්වන සියලු දෙනාට ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට අවස්ථාව සලසා දෙන බවද උන්වහන්සේ සහතික වූහ. මෙම ධාතූන් වහන්සේ ඉන්දියාවෙන් බැහැරව වැඩම කළ ප්‍රථම අවස්ථාව මෙය වන අතර, පසුගිය දින කිහිපය පුරාම ලක්ෂ සංඛ්‍යාත ජනකායක් ගංගාරාමය වෙත පැමිණියහ.














