පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ නීතිඥ සහතිකය සැක සහිත බව කියමින් අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි. පුරවැසි බලයේ සභාපති ජාමුනි කමන්ත තුෂාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ(දෙසැ. 16) පැමිණිල්ලක් කළේ ය.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට නීති විභාගය ලිවීමේදී අයුතු වාසියක් සැලසෙන පරිදි කටයුතු සංවිධානය කර තිබූ බවට තුෂාර මහතා පැමිණිල්ලේ සඳහන් කර තිබේ.
නාමල් රාජපක්ෂ මහතා වායුසමනය කළ තනි කාමරයක අසුන්ගෙන විභාගයට පෙනී සිටීම සම්බන්ධව විභාග අපේක්ෂකයෙකු වගකිවයුතු අංශ වෙත පැමිණිලි කර ඇතත් ඒ සෑම ස්ථානයකින් ම අදාළ පැමිණිල්ල හෝ සටහන් කර නොගෙන එය ප්‍රතික්ෂේප කර ඇති බවට ඔහු එමගින් චෝදනා කර ඇත.
එම විභාග වංචාව සම්බන්ධයෙන් අදාළ තරුණයා විසින් එදින සේවයේ නියුතුව සිටි ශාලාධිපති, නීති විද්‍යාලයේ විදුහල්පති සහ රෙජිස්ට්‍රාර් ඇතුළු වගකිවයුතු නිලධාරීන් වෙත පැමිණිලි සිදු කර ඇතත් ඒ කිසිවකු පැමිණිල්ල හෝ භාරගෙන නොමැති යැයි පැමිණිල්ල කිරීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ජාමුනි කමන්ත තුෂාර මහතා පැවසීය.
ඉන්පසුව ඔහු අධිකරණ අමාත්‍යාංශයේ එවකට ලේකම් සුහද ගම්ලත්, කෙසෙල්වත්ත පොලිසිය, පොලිස්පති, අල්ලස් කොමිසම ආදී සියලු ම අංශ වෙතද පැමිණිල්ල ඉදිරිපත් කර ඇතත් ඊට සාධාරණයක් වී නැතැයි තුෂාර මහතා සඳහන් කළේ ය.
පසුව අදාළ තරුණයා පැහැර ගැනීම්වලට පවා ලක්වී ඇති අතර ජීවිත ආරක්ෂාව පතා රටින් පිටවී ඇතැයිද මේ වන විට ඔහු එම සිදුවීම ගැන සාක්ෂි ලබා දීමට සූදානම් බැවින් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින්නේ යැයිද තුෂාර මහතා වැඩිදුරට ත් සඳහන් කළේ ය.