අමෙරිකා එක්සත් ජනපදය නැටෝ (NATO) සංවිධානයෙන් ඉවත් කරගැනීම පිළිබඳව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තවදුරටත් දැඩි අවධානයක් යොමු කරමින් සිටින බව ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලීවිට් අද තහවුරු කළාය. ජනාධිපතිවරයා මේ පිළිබඳව මීට පෙර අවස්ථා කිහිපයකදී සාකච්ඡා කර ඇති බවත්, තවත් පැය කිහිපයකින් නැටෝ මහලේකම් මාර්ක් රූට් සමඟ පැවැත්වීමට නියමිත හමුවේදී ද මෙය ප්‍රධාන මාතෘකාවක් වනු ඇති බවත් ඇය සඳහන් කළාය. මෙම තීරණාත්මක හමුවෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින්ම මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් සිදු කිරීමට ඉඩ ඇති බව ද මාධ්‍ය ලේකම්වරිය වැඩිදුරටත් කියා සිටියාය.
යුරෝපීය ආරක්ෂක සන්ධානයෙන් අමෙරිකාව ඉවත් වීමට ගනු ලබන මෙම උත්සාහය ජාත්‍යන්තර දේශපාලන බල තුලනය උඩුයටිකුරු කිරීමට සමත් වන අතර, විශේෂයෙන්ම යුක්රේන යුද්ධය සහ රුසියාවේ ක්‍රියාකාරීත්වය හමුවේ යුරෝපීය රටවල් දැඩි අසීරුතාවයකට පත් කරනු ඇතැයි විදේශ විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මැදපෙරදිග අර්බුදය සහ ඉරානය සමඟ පවතින ගැටුම්කාරී තත්ත්වය මධ්‍යයේ ට්‍රම්ප් විසින් ගනු ලබන මෙම “අමෙරිකාවට මුල් තැන” ප්‍රතිපත්තිය ජාත්‍යන්තර ආරක්ෂක ගිවිසුම්වල පැවැත්ම පිළිබඳව බරපතළ ප්‍රශ්නාර්ථයක් මතු කර තිබේ. අමෙරිකානු සෙනට් මණ්ඩලය තුළ ද ට්‍රම්ප්ගේ පාලනය පිළිබඳව දැඩි විවේචන එල්ල වෙමින් පවතින පසුබිමක, නැටෝ සංවිධානයෙන් ඉවත් වීමේ යෝජනාව වොෂින්ටන් දේශපාලනය තවදුරටත් කැළඹීමට සමත්ව ඇත.
තොරතුරු උපුටා ගැනීම: fox news (X) ඇසුරින්















