එළඹෙන 78 වැනි නිදහස් දින සැමරුම නිමිත්තෙන් සියලුම රාජ්‍ය ආයතන, නිවෙස් සහ වාහනවල ජාතික කොඩිය ප්‍රදර්ශනය කරන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි. නිදහස් සැමරුම් වැඩසටහන් මාලාව ආරම්භ කරමින් අද (02) රාත්‍රියේ නිදහස් මන්දිරයේදී පරිත්‍රාණ ධර්ම දේශනයක් පැවැත්වීමට නියමිත අතර, පෙබරවාරි 04 වැනිදා පෙරවරුවේ ප්‍රධාන උත්සවය නිදහස් චතුරස්‍රයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
මෙවර නිදහස් උත්සවය කොළඹට පමණක් සීමා නොකර පළාත්, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ද සැමරීමට පියවර ගෙන ඇති බව ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය. ප්‍රධාන උත්සවයේදී නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම සහ සර්ව ආගමික වතාවත් සිදු කිරීමට නියමිතව ඇත. දේශාභිමානය පෙරදැරිව මෙම ජාතික සැමරුමට දායක වන ලෙස රජය සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියි.















