ඉරාන උත්තරීතර නායකයාගේ ඝාතනයට ප්‍රතිචාර ලෙස හෙස්බොල්ලා සංවිධානය ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ, ඊශ්‍රායලය ලෙබනනයට එල්ල කළ දැවැන්ත ප්‍රහාරවලින් පුද්ගලයන් 31 දෙනෙකු මියගොස් 149 දෙනෙකු තුවාල ලබා තිබේ. මියගිය පිරිසෙන් 20 දෙනෙකු බීරූට් අගනුවර දකුණු තදාසන්න ප්‍රදේශවල පදිංචිකරුවන් බව ලෙබනන සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරයි. ඊශ්‍රායල හමුදාව පවසන්නේ හෙස්බොල්ලා සංවිධානයට “බරපතල වන්දියක්” ගෙවීමට සලස්වන බවත්, ප්‍රහාරවල තීව්‍රතාවය තවදුරටත් වැඩිකරන බවත්ය.
මෙම තත්ත්වය හමුවේ ලෙබනනයේ දකුණු සහ නැගෙනහිර ප්‍රදේශවල නගර සහ ගම්මාන 50ක පමණ ජනතාවට වහාම ඉවත් වන ලෙස ඊශ්‍රායලය නියෝග කර ඇති අතර, දහස් සංඛ්‍යාත පිරිසක් සිය නිවාස අතහැර ආරක්ෂිත ස්ථාන කරා පලා යමින් සිටිති. ලෙබනන ජනාධිපති ජෝසප් අවුන් සහ අගමැති නවාෆ් සලාම් හෙස්බොල්ලා සංවිධානයේ ක්‍රියාවන් විවේචනය කරමින් කියා සිටියේ, මෙම “වගකීම් විරහිත” ප්‍රහාර හේතුවෙන් මුළු රටම කලාපීය යුද්ධයකට ඇද වැටීමේ අවදානමක් පවතින බවයි.
මේ අතර, අද උදෑසන ඉරානයේ සිට ටෙල් අවිව් සහ ජෙරුසලම ඉලක්ක කරගනිමින් නව මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කර ඇති අතර, ඊශ්‍රායලය පුරා ගුවන් ප්‍රහාරක සීරුවෙන් තැබීමේ සංඥා නිකුත් කර ඇත. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ ‘Operation Epic Fury’ මෙහෙයුම ඉලක්ක සපුරා ගන්නා තෙක් අවම වශයෙන් තවත් සති හතරක් පමණ අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි. කුවේටයේ පිහිටි ඇමරිකානු කඳවුරකට එල්ල වූ ප්‍රහාරයකින් ඇමරිකානු සෙබළුන් තිදෙනෙකු මියගොස් ඇති බව ද ධවල මන්දිරය තහවුරු කර තිබේ.














