වැව් රක්ෂිත සහ සීමා නිර්ණය කිරීමේ නීති රීති ක්‍රියාත්මක කිරීමට විවිධ පාර්ශ්වයන්ගෙන් එල්ල වන බලපෑම් හේතුවෙන් අදාළ නිලධාරීන්ට එම කාර්යය නිසි ලෙස ඉටු කිරීමට නොහැකි වී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කළේය. ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක වන “දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය” යටතේ සකස් කරන ලද එල්ලංගා කළමනාකරණ කමිටුවේ කාර්යභාරය පිළිබඳ අත්පොත එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැති මෙම උත්සවයේදී අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ පවතින නීතිමය රාමුව තුළ වැව් ආරක්ෂා කරගැනීම සඳහා නිලධාරීන් ගන්නා පියවරවලට බාහිර මැදිහත්වීම් සිදුවන බවයි. දේශගුණික විපර්යාස හමුවේ සාම්ප්‍රදායික වාරි පද්ධති සහ වැව් සංරක්ෂණය කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරුණු අතර, නව කළමනාකරණ අත්පොත මගින් එම පද්ධති වඩාත් විද්‍යාත්මකව ආරක්ෂා කරගැනීමට අවශ්‍ය මගපෙන්වීම ලැබෙනු ඇති බව ද සඳහන් විය.














