නිවාස සංවර්ධන අධිකාරිය විසින් 2015-2019 කාලසීමාව තුළ නිවාස ඉදිකිරීම් සඳහා විවිධ පුද්ගලයන්ට ණය සහ ආධාර ලෙස ලබාදී ඇති රුපියල් කෝටි 300ක පමණ මුදලක් මෙතෙක් අයකරගෙන නොමැති බව නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ නිවාස 66,000ක් ඉදිකිරීම සඳහා මෙම මුදල් බෙදා දී ඇති නමුත් ඉන් බහුතරයක් නිවාස අතරමග නතර කර ඇති බවයි. එමෙන්ම ඇතැම් නිවාස ඉදිකර තිබුණ ද ඒවායේ පදිංචියට කිසිවෙකු පැමිණ නැති බවත්, දැනටමත් නිවාස හිමි පුද්ගලයන් පවා මෙම ක්‍රමය යටතේ නිවාස ලබාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වන බවත් හෙතෙම සඳහන් කළේය.
මෙම අවිධිමත් නිවාස ව්‍යාපෘති අතර වනජීවී කලාප තුළ ඉදිකර ඇති නිවාස ද පවතින බැවින් ඒවා ඉවත් කිරීමට සිදුවන බව අමාත්‍යවරයා අවධාරණය කළේය. රජයේ මුදල් අවිධිමත් ලෙස භාවිත කරමින් සිදු කර ඇති මෙම නිවාස ඉදිකිරීම් සම්බන්ධයෙන් දැනටමත් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්, මින් ඉදිරියට නිවාස ආධාර ලබාදීමේදී වඩාත් විනිවිදභාවයකින් කටයුතු කරන බවත් සුසිල් රණසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.














