“හෙළමුතු සෙවන” නිවාස සංකීර්ණයේ හත්වන මහලෙන් ගැලවී වැටුණු කොන්ක්‍රීට් කොටසක් වැදීමෙන් බරපතළ තුවාල ලබා සිටි හත් හැවිරිදි පිරිමි දරුවා අද (05) පෙරවරුවේ මියගොස් තිබේ. කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී දරුවා මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි.
සිය මිත්තණිය සමඟ නිවාස සංකීර්ණය අසල පිහිටි වෙළඳසැලක් අසල රැඳී සිටියදී ඉහළ මහලෙන් කඩා වැටුණු කොන්ක්‍රීට් කොටසක් දරුවාගේ සිරුරේ වැදී ඇති අතර, ඉන් ඔහුට බරපතළ අභ්‍යන්තර තුවාල සිදුව තිබුණි. මෙම සිදුවීමත් සමඟ ගොඩනැගිල්ලේ පවතින අනාරක්ෂිත තත්ත්වය පිළිබඳව ප්‍රදේශවාසීන් සිය දැඩි විරෝධය පළ කරන අතර, සිද්ධිය සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරිය සහ මුතුවල් පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.














