දිවයින පුරා නිවේදනය නොකළ විදුලි කප්පාදුවක් සිදු කරන බවට එල්ල වන චෝදනා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ෂේප කළේය. සැලසුම් සහගත විදුලි කප්පාදුවක් සිදු කරන්නේ නම් ඒ පිළිබඳව පූර්ව දැනුම් දීමක් අනිවාර්යයෙන්ම සිදු කරන බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. ඇතැම් ප්‍රදේශවල සිදුවන විදුලි බිඳවැටීම් පවතින නමුත්, ඒවා වාර්තා වූ සැනින් යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
කෙසේ වෙතත්, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සභාවේදී අදහස් දක්වමින් කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලය අවට ප්‍රදේශය ඇතුළු රටේ ස්ථාන කිහිපයක ඊයේ (06) පැය දෙකකට ආසන්න කාලයක් නිවේදනය නොකළ විදුලි බිඳවැටීම් වාර්තා වූ බවයි. රජය ජනතාවට නොදන්වා මෙලෙස විදුලිය විසන්ධි කරන බවට ඔහු චෝදනා කළ අතර, අමාත්‍යවරයා පෙන්වා දුන්නේ එවැනි සිදුවීම් හුදෙක් තාක්ෂණික දෝෂ මිස සැලසුම් සහගත කප්පාදුවක් නොවන බවයි.
















