ඇමෙරිකාව සහ ඉශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව දියත් කර ඇති ගුවන් ප්‍රහාර මාලාවත් සමඟ නේටෝ (NATO) සංවිධානයේ අනාගතය පිළිබඳ බරපතල අර්බුදයක් මතුව තිබේ. හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) යළි විවෘත කිරීම සඳහා ඇමෙරිකාවට සහාය දීම යුරෝපීය රටවල් ප්‍රතික්ෂේප කිරීම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි කෝපයට හේතු වී ඇත.
පසුගිය මාර්තු 20 වැනිදා සිය සමාජ මාධ්‍ය ගිණුමක සටහනක් තබමින් ට්‍රම්ප් යුරෝපීය නායකයින් “බයගුල්ලන්” ලෙස හඳුන්වා ඇති අතර, “අපි මෙය මතක තබා ගන්නෙමු” යනුවෙන් තර්ජනය කර තිබේ. මැදපෙරදිග මෙහෙයුම් සඳහා යුරෝපීය රටවල් සහාය නොදීම හේතුවෙන් ඇමෙරිකාව නේටෝ සංවිධානයෙන් ඉවත් වනු ඇතැයි බොහෝ පාර්ශ්ව බිය පළ කරති.
මීට පෙර සූවස් ඇළ අර්බුදය සහ වියට්නාම යුද්ධය වැනි අවස්ථාවලදී ද මෙවැනි මතභේද හටගත්ත ද, වත්මන් ඉරාන යුද්ධය හමුවේ නේටෝ සංවිධානයේ පැවැත්ම දැඩි තර්ජනයකට ලක්ව ඇති බව දේශපාලන විචාරකයෝ පවසති.














