ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ සුපිරි දඟපන්දු යවන්නෙකු වන මලින්ද පුෂ්පකුමාර, පළමු පෙළ ක්‍රිකට් පිටියේ කඩුළු 1,000 සීමාව පසු කළ සිව්වැනි ශ්‍රී ලාංකිකයා ලෙස අද (19) සුවිශේෂී වාර්තාවක් පිහිටුවනු ලැබීය. ඒ අනුව, මීට පෙර මෙම දක්ෂතාව ප්‍රදර්ශනය කළ මුත්තයියා මුරලිදරන්, රංගන හේරත් සහ දිනුක් හෙට්ටිආරච්චි යන ප්‍රබල පන්දු යවන්නන් තිදෙනා අතරට එක්වීමට ඔහුට හැකි විය.
මූවර්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරමින් බදුරලිය ක්‍රීඩා සමාජයට එරෙහිව පැවති තරගයේදී පැසිඳු සූරියබණ්ඩාරගේ කඩුල්ල දවා ගනිමින් ඔහු සිය 1,000 වැනි කඩුල්ල සම්පූර්ණ කළේය. මෙම සන්ධිස්ථානයත් සමඟ ඔහු ලෝක පළමු පෙළ ක්‍රිකට් ඉතිහාසයේ කඩුළු 1,000ක් දවාගත් 218 වැනි පන්දු යවන්නා ලෙස ඉතිහාස ගත විය. මලින්ද පුෂ්පකුමාර කඩුළු 1,000ක් සම්පූර්ණ කළ පන්දු යවන්නන් අතර හොඳම ‘පන්දු යැවීමේ වේගය’ (Strike Rate) පවත්වා ගෙන යන පන්දු යවන්නන් අතර ලොව 11 වැනි ස්ථානයේ පසුවීම ඔහුගේ සුවිශේෂී දක්ෂතාව විදහා දක්වන්නකි.
පළමු පෙළ වැඩිම කඩුළු ලාභී ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් අතර මුත්තයියා මුරලිදරන් (1,374), රංගන හේරත් (1,080) සහ දිනුක හෙට්ටිආරච්චි (1,001) යන ක්‍රීඩකයින්ට පසුව සිව්වැනි ස්ථානය මලින්ද පුෂ්පකුමාරට හිමි වේ. මීට අමතරව 2018/19 තරග වාරයේදී ලකුණු 37කට කඩුළු 10ම දවා ගනිමින් ශ්‍රී ලංකා දේශීය පිටියේ හොඳම පන්දු යැවීමේ වාර්තාවට ද ඔහු හිමිකම් කියයි.














