ඉන්දියාවේ සතියක නිල සංචාරයක් නිමවා මෙරටට පැමිණි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කර සිටින්නේ, පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසට ඉන්දීය රජය ජාතික ජනතා බලවේග රජයට කිසිදු බලපෑමක් සිදු නොකළ බවයි. නවදිල්ලියේදී ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් සහ නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක පවන් කපූර් යන මහත්වරුන් සමඟ පැවති සාකච්ඡාවලදී බලය බෙදා හැරීම හෝ ත්‍රස්තවාදී ගැටළු සම්බන්ධයෙන් කිසිදු සංවාදයක් ඇති නොවූ බව ඔහු රූපවාහිනී සාකච්ඡාවකට එක්වෙමින් අවධාරණය කළේය.
ටිල්වින් සිල්වා මහතා පෙන්වා දෙන්නේ වර්තමාන ඉන්දීය රජයේ අවධානය දේශපාලන න්‍යාය පත්‍රයන්ට වඩා ආර්ථික සංවර්ධනය සහ තාක්ෂණික සහයෝගීතාව කෙරෙහි සම්පූර්ණයෙන්ම යොමු වී ඇති බවයි. ශ්‍රී ලංකාවේ සැබෑ සහ විශ්වාසදායක සහකරුවෙකු ලෙස කටයුතු කිරීමට ඉන්දියාව සූදානම් බව එම සාකච්ඡාවලදී යළි තහවුරු වූ බවත්, වත්මන් පාලනය සමඟ සමීපව කටයුතු කළ හැකි බව ඉන්දියාව වටහාගෙන ඇති බවත් ඔහු මෙහිදී සඳහන් කළේය. අතීතයේදී ජවිපෙ ක්‍රියා කළේ ඉන්දියාවට එරෙහිව නොව එකල පැවති ඉන්දීය රජයේ ඇතැම් ක්‍රියාමාර්ගවලට එරෙහිව බව ද ඔහු මෙහිදී පැහැදිලි කළේය.
තවද, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර විධායක බලතල නොමැති ජනාධිපති ක්‍රමයක් සහිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමේ මූලික කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බව ද ලේකම්වරයා වැඩිදුරටත් අනාවරණය කළේය. මෙම නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ හරහා රටේ දේශපාලන ව්‍යුහයේ සැලකිය යුතු වෙනසක් ඇති කිරීමට රජය අපේක්ෂා කරයි.














