2026 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දියාවට එරෙහි තරගය පමණක් වර්ජනය කිරීමට පාකිස්ථානය ගත් තීරණය පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) සිය දැඩි කණස්සල්ල සහ විරෝධය පළ කර තිබේ. රජයේ මැදිහත්වීම මත ගනු ලැබූ මෙම “තෝරාගත් සහභාගීත්වය” ගෝලීය ක්‍රිකට් තරගාවලියක අඛණ්ඩතාවයට සහ ක්‍රීඩාවේ ජීවගුණයට බරපතල හානියක් බව ICCය අවධාරණය කරයි. ලෝක කුසලානය වැනි ප්‍රධාන තරගාවලියකදී සියලුම කණ්ඩායම් සමාන කොන්දේසි යටතේ නියමිත කාලසටහනට අනුව ක්‍රීඩා කළ යුතු බවත්, මෙලෙස තෝරාගත් තරග පමණක් මග හැරීම එම මූලධර්මයට පටහැනි බවත් ඔවුන් පෙන්වා දෙයි.
මෙම තීරණය හේතුවෙන් පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩාවට මෙන්ම සමස්ත ගෝලීය ක්‍රිකට් පද්ධතියටම දිගුකාලීන අහිතකර බලපෑම් සිදුවිය හැකි බව පවසන ICCය, පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් (PCB) ඉල්ලා සිටින්නේ මෙම පියවර පිළිබඳව යළි සලකා බලන ලෙසයි. පෙබරවාරි 15 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිත ඉන්දියා – පාකිස්ථාන ගැටුම ලොව පුරා ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු වන ඉසව්වක් බැවින්, සියලු පාර්ශවයන්ට එකඟ විය හැකි විසඳුමකට පැමිණ තරගාවලියේ සාර්ථකත්වයට සහය වන ලෙස ICCය වැඩිදුරටත් දන්වා සිටියි.














