පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හමුවේ වුවද දිවයින පුරා පානීය ජල සැපයුම අඛණ්ඩව සිදුකිරීමට පියවර ගෙන ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අවධාරණය කරනවා. ජල පීඩනය අඩුවන කලාප හඳුනා ගනිමින් ඒවාට අවශ්‍ය කඩිනම් විසඳුම් ලබාදීමටද මේ වන විටත් කටයුතු යොදා තිබෙනවා.
කෙසේ වෙතත් පවතින දැඩි පෑවිල්ලත් සමඟ ඉදිරියට පැමිණෙන උත්සව සමය නිසා ජල පරිභෝජනය විශාල වශයෙන් ඉහළ යා හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර මහතා පෙන්වා දෙනවා. එබැවින් ලැබෙන ජලය ඉතා අරපිරිමැස්මෙන් හා කළමනාකරණයෙන් යුතුව භාවිත කිරීම ජනතාවගේ ප්‍රමුඛ වගකීමක් බවයි ඒ මහතා සඳහන් කරන්නේ.
මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට කඩින් කඩ වැසි තත්ත්වයන් ඇති වුවද එළඹෙන මැයි මාසය වන තෙක්ම පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය තවදුරටත් අපේක්ෂා කළ හැකි බවයි.














