බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව ආණ්ඩුව විසින් පරාජය කළද, ජනතා අධිකරණය හමුවේ එය පරාජය කිරීමට ආණ්ඩුවට නොහැකි බව හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අවධාරණය කරයි. අද (11) කොළඹදී පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ, බාල ගල් අඟුරු ගෙන්වීම හරහා රටට සිදුවූ දැඩි ආර්ථික හානිය පිළිබඳ කරුණු මේ වන විටත් අනාවරණය වී අවසන් බවයි.
මෙම ගනුදෙනුවේදී නීතිපතිවරයාගේ නිසි අනුමැතියකින් තොරව ගිවිසුම් අත්සන් කර ඇති බවත්, ආණ්ඩුවේ මෙම ක්‍රියාකලාපය නිසා අවසානයේ විදුලි බිල ඉහළ දමා ජනතාව මත බදු බර පැටවීමට සිදුවන බවත් මෙහිදී විපක්ෂයේ නියෝජිතයෝ පෙන්වා දුන්හ. හිටපු නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේ විශ්වාසභංගයෙන් පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුව ජයග්‍රහණය කළද, එමඟින් සැබෑ ලෙසම පරාජයට පත් වූයේ මේ රටේ ජනතාව බවයි.
ගල් අඟුරු සම්බන්ධයෙන් නිසි විද්‍යාගාර පරීක්ෂණ පවා සිදු නොකිරීම පිළිබඳව මහාචාර්ය චන්න ජයසුමන මහතා සිය කණගාටුව පළ කළ අතර, අජිත් මාන්නප්පෙරුම මහතා උපහාසාත්මකව ප්‍රකාශ කළේ මෙවර සිංහල අවුරුද්දට ජනතාවට අනුභව කිරීමට සිදුව ඇත්තේ ගල් අඟුරු බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සර්වජන බලය පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක නියෝජිතයන් මෙම ඒකාබද්ධ මාධ්‍ය හමුව සඳහා සහභාගී වී සිටියහ.
















