හෙයියන්තුඩුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකට අදාළ නඩුවක් සඳහා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් හිටපු කතානායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක සපුමල් රන්වල මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස මහර අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා වරෙන්තු නිකුත් කර තිබේ. ඉකුත් 13 වැනිදා මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී මන්ත්‍රීවරයා අධිකරණයට නොපැමිණීම මෙම නියෝගයට හේතු විය.
සපුගස්කන්ද පොලිසියේ රථවාහන අංශය මගින් මෙහිදී මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා පත්‍රයක් ද ගොනු කළ අතර, අපරීක්ෂාකාරීව රිය ධාවනය, අනතුරක් වළක්වා නොගැනීම, බරපතළ හා සුළු තුවාල සිදු කිරීම මෙන්ම ධාවනයට නුසුදුසු වාහනයක් ධාවනය කිරීම යන චෝදනා ඒ යටතේ ඉදිරිපත් කර ඇත. මන්ත්‍රීවරයා පැදවූ ජීප් රථය මෝටර් රථයක සහ යතුරුපැදියක ගැටීමෙන් සිදු වූ මෙම අනතුරින් එකම පවුලේ මව, මාස හතක බිළිඳෙකු සහ මිත්තනිය තුවාල ලබා තිබුණි. නඩුව යළි කැඳවීම ලබන ජූලි මස 10 වන දිනට කල් තබා තිබේ.














