රජයේ සහ පෞද්ගලික පාසල් පද්ධතිය තුළ සිදුවන අපයෝජන සහ ප්‍රචණ්ඩකාරී ක්‍රියා හේතුවෙන් 2015 වසරේ සිට මේ දක්වා දරුවන් 425 දෙනෙකු පාසල් ගමන නතර කර ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය අද (07) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළාය. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, එම කාලසීමාව තුළ පාසල් තුළ සිදුවූ අපයෝජන සහ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් පැමිණිලි 1,026ක් වාර්තා වී ඇති බවයි.
මීට අමතරව, මෙවැනි පීඩාකාරී තත්ත්වයන් දරාගත නොහැකිව පාසල් දරුවන් 6 දෙනෙකු සියදිවි හානිකරගෙන ඇති බව ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී සංවේගයෙන් යුතුව ප්‍රකාශ කළාය. පාසල් දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ මෙවැනි සිදුවීම් අවම කිරීම සඳහා රජය විශේෂ අවධානයක් යොමුකර ඇති අතර, විධිමත් යාන්ත්‍රණයක් හරහා දරුවන්ගේ මානසික සෞඛ්‍යය සහ ආරක්ෂාව සුරක්ෂිත කිරීමට කටයුතු කරන බව ද ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.














