2003 වසරේ නිදහස් දින පෙරහුරුවේදී එවකට ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය නියෝජනය කරමින් පැය තුනක කාලයක් මෙරට ‘ජනාධිපතිනිය’ ලෙස කටයුතු කළ තනූජා ප්‍රියදර්ශනී විතානගේ මහත්මියගේ පුවත වසර 23කට පසු යළිත් කාගේත් අවධානයට යොමුව තිබේ. අත්තනගල්ල, ඌරාපොළ ගම්මානයේ උපන් ඇය, ශ්‍රී ලංකා පොලීසියේ ප්‍රභූ ආරක්ෂක සේවයට එක්වූ ප්‍රථම කාන්තාව ලෙස ඉතිහාසයට එක්වූ අතර, ජනාධිපතිනියගේ සමීපතම ආරක්ෂක නිලධාරිනියක ලෙස කටයුතු කළාය. නිදහස් උළෙලේ අවසන් පෙරහුරුව පැවැති දින ජනාධිපතිනියට පැමිණීමට නොහැකි වීම හේතුවෙන්, ජනාධිපති නිල රථයෙන් උත්සව භූමියට පැමිණ, ත්‍රිවිධ හමුදා උත්තමාචාර මැද ජාතික ධජය ඔසවා ජාතිය ඇමතීමේ අසුනේ අභිමානයෙන් හිඳ ගැනීමට ඇයට එදා අවස්ථාව ලැබුණි.
එවකට 23 හැවිරිදි වියේ පසුවූ තනූජා, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් ඉදිරියේ මෙම භූමිකාව ඉතා විශ්වාසයෙන් යුතුව නිරූපණය කළ අතර, එය සැබෑ ජීවිතයේ ඇය ලද දුර්ලභ ගෞරවයක් ලෙස සලකයි. 2005 වසරේදී පොලිස් සේවයෙන් ඉවත් වූ ඇය, මේ වන විට ‘බ්‍රයිට්’ නමින් සාර්ථක පෙර පාසලක් පවත්වාගෙන යන අතරම මනෝ වෛද්‍ය උපදේශිකාවක ලෙස ද සේවය කරමින් සිටින්නීය. අහඹු ලෙස උදා වූ එම අසිරිමත් අවස්ථාව තම ජීවිතයේ ශක්තියක් වූ බව ඇය කෘතවේදීව සිහිපත් කරයි.














