සිය පැරණි පෙම්වතාගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදාහැර පළිගැනීමක් සිදුකළ බව කියන 25 හැවිරිදි පරිගණක ඉංජිනේරුවරියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් අත්අඩංගුවට ගෙන තිබේ. යාපනය, කන්දර්මඩම් ප්‍රදේශයේ පදිංචි මෙම තරුණිය පෙරේදා (13) මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
තම නිරුවත් ඡායාරූප වට්ස්ඇප් (WhatsApp) සමූහයක් ඔස්සේ බෙදාහැර ඇති බවත්, එය තම පැරණි පෙම්වතිය විසින් සිදුකර ඇති බවට සැක කරන බවත් පවසමින් යාපනය ප්‍රදේශයේ තරුණයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.
ඒ අනුව ක්‍රියාත්මක වූ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ උතුරු පළාත් ඒකකය මගින් පරීක්ෂණ පවත්වා සැකකාර ඉංජිනේරුවරිය අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකාරිය සහ පැමිණිලිකරු අතර වසර 15ක පමණ කාලයක සිට ප්‍රේම සම්බන්ධතාවක් පැවතී ඇති බවයි. මෑතකදී පෙම්වතා ඇයගෙන් වෙන්වීම හේතුවෙන් ඇය දැඩි සිත්තැවුලකට හා වේදනාවකට පත්ව ඇති බවත්, ඉන් පළිගැනීමක් වශයෙන් ඇය සතුව තිබූ ඔහුගේ නිරුවත් ඡායාරූප මෙලෙස ප්‍රසිද්ධ කර ඇති බවත් හෙළි වී තිබේ.
සැකකාරිය යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ උතුරු පළාත් ඒකකයේ නිලධාරීන් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.














