ප්‍රධාන පෙළේ පුද්ගලික වාණිජ බැංකුවක අන්තර්ජාල බැංකු පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී රුපියල් ලක්ෂ 20 කට ආසන්න මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ. උඩුගම්පොළ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු වන ඩබ්ලිව්. එම්. සී. වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (09) මෙම පැමිණිල්ල සිදුකර ඇත.
සිය බැංකු ගිණුමේ තැන්පත් කර තිබූ රුපියල් දහනව ලක්ෂ අනූහත් දහස් හත්සිය හැත්තෑ හතක (1,997,777) මුදලක් මෙලෙස සූක්ෂම ලෙස වංචා කර ඇති බව වින්දිතයා පවසයි.අදාළ බැංකුවේ ඩිජිටල් පද්ධතියට සමාන ව්‍යාජ යෙදුම් (Fake Apps) භාවිත කරමින් හෝ පද්ධතියට අනවසරයෙන් ඇතුළු වෙමින් සිදුකරන මෙවැනි අන්තර්ජාල මූල්‍ය වංචා රැසක් පිළිබඳව මේ වන විට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ඇතුළු අධිකරණ කිහිපයක නඩු විභාග වෙමින් පවතී. බැංකු ප්‍රධානීන් දැනුවත් කිරීමෙන් අනතුරුව ව්‍යාපාරිකයා CID සහය පතා ඇති අතර, මෙවැනි වංචනික ක්‍රියාවලින් ආරක්ෂා වීම සඳහා තම බැංකු තොරතුරු සහ රහස් කේත පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් වන ලෙස මූල්‍ය විමර්ශන අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටියි














