ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහා පරිමාණ පුනර්ජනනීය බලශක්ති බලාගාරවල නිෂ්පාදනය අත්තනෝමතික ලෙස සීමා කිරීම හේතුවෙන් රුපියල් බිලියන 2කට ආසන්න පාඩුවක් සිදුව ඇති බව ජාලගත සූර්ය බලශක්ති නිෂ්පාදකයින්ගේ සංගමය (GCSPA) පවසයි. 2025 පෙබරවාරි මාසයේ සිට සති අන්ත සහ රජයේ නිවාඩු දිනවල පෙරවරු 9:00 සිට පස්වරු 3:00 දක්වා මෙම බලාගාර වසා තබන ලෙස විදුලිබල මණ්ඩලය දන්වා ඇති අතර, මේ වන විට සතියේ දිනවල පවා එම සීමා කිරීම් ක්‍රියාත්මක කරන ලෙස දන්වා ඇති බව එම සංගමය පෙන්වා දෙයි.
මෙම තත්ත්වයට හේතුව ලෙස විදුලිබල මණ්ඩලය පවසන්නේ දහවල් කාලයේදී පද්ධතියට සූර්ය බලශක්තිය වැඩිපුර ලැබීමයි. එහෙත් මෙලෙස අතිරික්ත වන විදුලිය ගබඩා කර රාත්‍රී කාලයේදී පද්ධතියට මුදා හැරීම සඳහා වූ බැටරි බලශක්ති ගබඩා පද්ධති (BESS) ස්ථාපිත කිරීමට රජය අනුමැතිය ලබා දී තිබියදීත් විදුලිබල මණ්ඩලය එය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කරන බව සංගමයේ සභාපති ප්‍රභාත් වික්‍රමසිංහ මහතා චෝදනා කරයි. මේ සඳහා අවශ්‍ය බදු සහන සහ ඒකකයක මිල පවා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර මාස පහක් ගත වී ඇතත්, විදුලිබල මණ්ඩලය ඒ පිළිබඳව මෙතෙක් පියවර ගෙන නොමැත.
සූර්ය බලශක්ති බලාගාර “Must Run” හෙවත් අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක විය යුතු බලාගාර ලෙස ගිවිසුම්ගතව ඇති බැවින්, මෙලෙස නිෂ්පාදනය නතර කිරීම මගින් එම ගිවිසුම් ඒකපාර්ශවිකව උල්ලංඝනය වන බව සංගමයේ විධායක කමිටු සාමාජික කිෂාන් නානායක්කාර මහතා අවධාරණය කරයි. මේ හේතුවෙන් දිනකට විදුලි ඒකක මිලියන හතරක් පමණ පද්ධතියට අහිමි වන අතර, බලාගාර හිමියන්ගේ මාසික ආදායම 15%කින් පමණ පහත වැටී ඇත. මේ සඳහා වහාම වන්දි ලබා දීමට හෝ විකල්ප ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට රජය මැදිහත් විය යුතු බව එම සංගමය වැඩිදුරටත් ඉල්ලා සිටියි.














