බදුල්ල සුන්දර දුන්හිද ඇල්ල ප්‍රවේශ මාර්ගයේ සහ ඇල්ල අසල ඇති ප්ලාස්ටික්, වීදුරු බෝතල්, පොළිතින් ඇතුළු පරිසරයට හානිදායක අපද්‍රව්‍ය ඉවත්කිරීමේ වැඩසටහනක් කොළඹ විශ්වවිද්‍යාලයේ පුරවර සරසවි මිතුරෝ කණ්ඩායම විසින් ක්‍රියාවට නංවන ලදි.
ඒ, පරිසරය පිරිසිදුව තබාගනිමු, සොබාව සෞන්දර්ය රැකගනිමු යන තේමාව පෙරදැරිව සමාජයට පණිවිඩයක්, දරුවන්ට ආදර්ශයක් ලබාදීම අරමුණුකරගෙනය.
බදුල්ල මහියංගණ මාර්ගයේ දුන්හිද ඇල්ල ප්‍රවේශ මාර්ගයේ සිට ඇල්ල දක්වා ඇති කිලෝමීටර් ගණනාවක මාර්ගය සම්පූර්ණයෙන් පිරිසිදු කිරීමට සහ ඇල්ල අසල ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීමට පුරවර සරසවි මිතුරෝ කටයුතු කළ අතර ඒ සදහා 120ක කණ්ඩායමක් සහභාගීවිය.
කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයෙන් උපාධිලත් 2001/2002 අධ්‍යයන කණ්ඩායමේ පුරවර සරසවි මිතුරෝ 2024 සදහා වූ වාර්ෂික සුහද හමුවට සමගාමීව දුන්හිද ඇල්ල පිරිසිදු කිරීමේ වැඩසටහන ක්‍රියාවට නංවන ලදි.
එය මෙවර බදුල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍රකරගෙන පැවැත්විණ. ඒ සදහා 120ක පිරිසක් සහභාගීවූ අතර ඔවුන්ගේ පවුල්වල දරුවන් 52ක්ද ඊට සහභාගීවිය. වාර්ෂික සුහද හමුව පැල්ගහතැන්න ඌව කළමනාකරණ සංවර්ධන ආයතනයේ දින තුනක් පුරා පැවැති අතර බදුල්ල අවට ඇති විශේෂ ස්ථාන නැරඹීමටද මෙවර පහසුකම් සලසා තිබුණි.
ඒ අනුව සහභාගීවූ සැමට දැනුම, විනෝදය, ආදර්ශය, සාමූහිකත්වය සහ සතුට ලැබෙන අයුරින් මෙවර පුරවර සරසවි මිතුරෝ සුහද හමුව සංවිධානය කර තිබූ අතර, හමුව අවසානයේ සහභාගීවූ සියලු දරුවන්ට පාසල් පොත්, පාසල් බෑග් ඇතුළු පාසල් උපකරණ ලබාදීමටද කටයුතු සංවිධානය කර තිබුණි. පුරවර සරසවි මිතුරෝ වාර්ෂික සුහද හමුව මෙවරද කැනඩාවේ ඔටාවාහි හිල්ඩා ජයවර්ධනාරාම විහාරවාසී පූජ්‍ය නුගේගලයායේ ජිනානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් පැවැත්විණ.