වලස්මුල්ල ප්‍රදේශයේදී පූසෙකුට අතිශය අමානුෂික ලෙස වධහිංසා පමුණුවන වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදාහැරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ 26 හැවිරිදි තරුණයෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. නිවිතිගල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම සැකකරු, අදාළ වීඩියෝව සම්බන්ධයෙන් සත්ත්ව සංවිධාන ඇතුළු විවිධ පාර්ශවයන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය සහ පොලිසිය සිදුකළ විමර්ශන හමුවේ පසුගිය පෙබරවාරි 08 වනදා අත්අඩංගුවට ගනු ලැබීය. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන පෙබරවාරි 24 වනදා දක්වා දින 14ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති අතර, සැකකරුගේ මානසික තත්ත්වය පරීක්ෂා කර වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද වලස්මුල්ල පොලිසියට වැඩිදුරටත් නියෝග කර ඇත. මේ වන විට මෙම සිදුවීම සම්බන්ධයෙන් සත්ත්ව හිංසනයට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක විය යුතු බවට සමාජ මාධ්‍ය තුළ පුළුල් කතිකාවතක් ද නිර්මාණය වී තිබේ.














