බැංකු පොලියෙන් සියයට 10 ක රඳවා ගැනීමේ බද්ද අය කරනු ලබන්නේ අප්‍රේල් මස 01 වැනිදා සිට බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවැසීය
අවුරුදු 18 ට අඩු ළමුන්ගේ බැංකු ගිණුම්වලින් පවා මෙම බද්ද අය කිරීමට රජය කටයුතු කිරීම සම්බන්ධව “අරුණ’’ පුවත්පත ඇමැතිවරයාගෙන් කරන ලද විමසීමකදී ඔහු මේ බව කියා සිටියේය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (31 වැනිදා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවැසීය.
බදු නොගෙවිය යුතු ජනතාවගෙන් එම බද්ද අය කෙරෙන්නේ නම්, එය බැංකු පද්ධතිය හරහා නැවත ඔවුන්ට ලබාදීම සඳහා මුදල් අමාත්‍යාංශය බැංකු පද්ධතිය සමග සාකච්ඡා කරමින් සිටින බවද ඔහු කීවේය.
පොලියෙන් කපාගත් මුදල ලබා ගැනීමට ජනතාවට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අවශ්‍යතාවක් පැන නොනගිනු ඇතැයිද, ඊට වැඩපිළිවෙළක් සකස් කෙරෙන බවද ඇමැතිවරයා සඳහන් කළේය.
මෙම බද්දට යටත් වන්නේ මාසික ආදායම රුපියල් 150,000 වැඩි අය පමණක් බවද ඔහු කීවේය.
කෙසේ නමුත්, සියලු තැන්පත්කරුවන්ගේ බැංකු පොලියෙන් සියයට 5 ක රඳවා ගැනීමේ බද්දක් ඉකුත් 2023 වසරේ ජනවාරි මස පළමුවැනිදා සිට අය කෙරේ. එය වර්තමාන රජය විසින් සියයට 10 ක් දක්වා ඉහළ දැමුවේය.