2025 අංක 11 දරන සේවකයන්ගේ ජාතික අවම වේතන සංශෝධන පනතට අනුව, 2026 ජනවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පෞද්ගලික අංශයේ සේවකයන්ගේ ජාතික අවම වැටුප රුපියල් 30,000 දක්වා ඉහළ නැංවීමට රජය පියවර ගෙන තිබේ.
කම්කරු කොමසාරිස් ජනරාල් එච්.එම්.ඩී.එන්.කේ. වටලියද්ද මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, මීට පෙර රුපියල් 27,000ක්ව පැවති අවම මාසික වැටුප මෙලෙස රුපියල් 3,000කින් ඉහළ නංවා ඇති බවයි. මීට සමගාමීව අවම දෛනික වැටුප ද රුපියල් 1,080 සිට රුපියල් 1,200 දක්වා වැඩි කර තිබේ.
මෙම වැටුප් වැඩිවීම සෘජු සේවකයන්ට පමණක් නොව, අතරමැදියන් හෝ කොන්ත්‍රාත්කරුවන් හරහා සේවයේ යොදවා සිටින සේවකයන්ට ද අදාළ විය යුතු බව කම්කරු දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. එහිදී ආසන්නතම සේවායෝජකයා මෙන්ම අවසාන සේවායෝජකයා ද මෙම ගෙවීම් සම්බන්ධයෙන් නීත්‍යානුකූලව වගකීමට බැඳී සිටී.
මෙම සංශෝධිත වැටුප පදනම් කර ගනිමින් පහත සඳහන් ව්‍යවස්ථාපිත ගෙවීම් සිදු කිරීම ද සේවායෝජකයන්ගේ වගකීමකි:
– සේවක අර්ථසාධක අරමුදල (EPF) සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල (ETF)
– අතිකාල දීමනා සහ පාරිතෝෂික ගෙවීම්
– ප්‍රසූතිකාධාර සහ නිවාඩු දින ගෙවීම්
යම් සේවායෝජකයෙකු මෙම නියමිත අවම වැටුප ගෙවීමට පියවර නොගන්නේ නම්, ඒ පිළිබඳ පැමිණිලි කම්කරු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය (cms.labourdept.gov.lk) ඔස්සේ හෝ ළඟම පිහිටි කම්කරු කාර්යාලයට ලිඛිතව ඉදිරිපත් කළ හැකි බව කම්කරු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් දන්වා සිටී.














