ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සහ ශ්‍රී ලංකා හෙද සභාවේ ලියාපදිංචි නොවූ අය කාර්ය මණ්ඩලයේ සේවයෙහි යෙදවීමෙන් රෝගියකුට අනතුරක් කරන ලදැයි චෝදනා යටතේ කොළඹ, කොල්ලුපිටියේ පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට එරෙහිව පවරා තිබෙන නඩුව ඔක්තෝබර් 03 වැනිදා විභාගයට ගැනීමට අධිකරණය ඊයේ (24 වැනිදා) තීරණය කළේය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරියාගම කල ඉල්ලීමකට අනුව අදාළ නඩුව ඔක්තෝබර් 03 වැනිදා විභාගයට ගැනීමට තීරණය කළ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර, එදිනට අධිකරණය හමුවේ පෙනී සිට සාක්ෂි දෙන ලෙස ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මික අලහප්පෙරුමට සහ වෛද්‍ය එම්. එන්. ඩබ්ලිව්. ඒ. සල්ගාදුට නියම කළාය.
කොල්ලුපිටිය පොලිසිය විසින් පවරා තිබූ මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස අදාළ පෞද්ගලික රෝහල, එම රෝහලේ විකිරණ ශිල්පියකු ලෙස කටයුතු කළ සරත් චන්ද්‍ර අගලවත්ත සහ එම රෝහලේ හෙද නිලධාරිනියක ලෙස කටයුතු කළ නිමාලි මදුකා විජේසේකර නම් කර තිබිණි.
2015 ජනවාරි මස 14 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී කොල්ලුපිටියේදී 2006 අංක 21 දරන පෞද්ගලික වෛද්‍ය ආයතන (ලියාපදිංචි කිරීමේ) පනත යටතේ නිකුත් කරන ලද කොන්දේසි කඩ කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි නොවූ විකීරණ ශිලිපියකු සහ ශ්‍රී ලංකා හෙද සභාවේ ලියාපදිංචි නොවූ හෙද නිලධාරිනියක සිය කාර්යය මණ්ඩලයෙහි සේවයේ යොදවා මීමනගේ හැරල්ඩ් ප්‍රනාන්දුට අනතුරක් කිරීමෙන් පෞද්ගලික වෛද්‍ය ආයතන පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් කර ඇතැයි චෝදනා කරමින් චෝදනා 04 ක් යටතේ කොල්ලුපිටිය පොලිසිය විසින් විත්තිකාර පෞද්ගලික රෝහල ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා තිබිණි.
විත්තිකාර පෞද්ගලික රෝහලේ ක්‍රියා කලාපය හේතුවෙන් තම පියා වන මීමනගේ හැරල්ඩ් ප්‍රනාන්දු මියගිය බව මරණකරුගේ පුතා සහ දියණිය සඳහන් කරයි.
( aruna.lk | ඉෂාර රත්නකාර)