“ගෝලීය වශයෙන් පැතිරීමේ අවදානම අඩුයි” – ශ්‍රී ලංකාවට බලපෑමක් නැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි
බංග්ලාදේශයේ රජ්ෂාහි ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි කාන්තාවක් නිපා වෛරසය ආසාදනය වීමෙන් මියගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර තිබේ. පසුගිය ජනවාරි 21 වන දින උණ සහ ස්නායු රෝග ලක්ෂණ පෙන්නුම් කළ මෙම කාන්තාවට වෛරසය ආසාදනය වී ඇති බව ජනවාරි 29 වන දින රසායනාගාර පරීක්ෂණ මගින් තහවුරු විය. ඇය මෑතකදී විදේශ සංචාරවල නිරත වී නොමැති වුවද, වවුලන් මගින් දූෂිත වූ අමු තල් රා පානය කිරීම හේතුවෙන් මෙම මාරාන්තික වෛරසය ඇයට ආසාදනය වී ඇති බවට සැක කෙරේ. මෙම සිදුවීමත් සමඟ ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයෙන් ද රෝගීන් දෙදෙනෙකු වාර්තා වීම නිසා කලාපීය වශයෙන් දැඩි අවධානයක් යොමු වුවත්, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ වෛරසය ජාත්‍යන්තරව පැතිරීමේ අවදානම ඉතා අවම මට්ටමක පවතින බවයි. බංග්ලාදේශ බලධාරීන් විසින් රෝගියා සමඟ සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයන් 35 දෙනෙකු පරීක්ෂාවට ලක් කළ අතර ඔවුන් කිසිවෙකුටත් වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු විය.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ද නිවේදනය කරන්නේ මෙරටට නිපා වෛරසයේ බලපෑමක් ඇතිවීමේ අවදානම ඉතා අවම බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කිසිදු සංචාරක හෝ වෙළඳ සීමාවක් පනවා නොමැති බවත්, ඕනෑම හදිසි තත්ත්වයකදී රෝග විනිශ්චය සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනය පූර්ණ සූදානමින් පවතින බවත් රජය අවධාරණය කරයි. නිපා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා වවුලන් විසින් දූෂිත කළ හැකි අමු තල් රා හෝ පලතුරු ආහාරයට ගැනීමෙන් වැළකී සිටීමත්, පලතුරු ආහාරයට ගැනීමට පෙර හොඳින් සෝදා පොතු හැර පාවිච්චි කිරීමත් අතිශය වැදගත් වේ. එමෙන්ම යමෙකුට උණ, හිසරදය, වමනය සහ ශ්වසන අපහසුතා වැනි රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් පැතිය යුතු බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සිහිපත් කරයි














