බංග්ලාදේශයේ පැවැති මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලැබූ බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ (BNP) නායක තාරික් රහ්මාන් මහතා එරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමේ ඓතිහාසික උත්සවය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහභාගී වීමට නියමිතය. මෙම උත්සවය හෙට, එනම් පෙබරවාරි 17 වැනි අඟහරුවාදා ඩකා නුවරදී පැවැත්වෙන බව බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධර්මපාල වීරක්කොඩි මහතා තහවුරු කර තිබේ.
2024 වසරේ ඇති වූ මහජන විරෝධතාවලින් අනතුරුව පැවැති පළමු මහ මැතිවරණය මෙය වන අතර, එහිදී තාරික් රහ්මාන් මහතා ප්‍රමුඛ BNP සන්ධානය ආසන 300කින් 212ක් දිනා ගනිමින් තුනෙන් දෙකක බහුතර බලයක් ලබා ගැනීමට සමත් විය. තාරික් රහ්මාන් මහතා බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍යවරියක වූ අභාවප්‍රාප්ත කලීඩා සියා මහත්මියගේ පුත්‍රයාය. මෙම දිවුරුම් දීමේ අවස්ථාවට ඉන්දියාව නියෝජනය කරමින් ලෝක් සභා කථානායක ඕම් බිර්ලා ඇතුළු කලාපීය රටවල ඉහළ පෙළේ දූත පිරිසක් සහභාගී වීමට නියමිතව ඇත.
මෙම සංචාරය හරහා බංග්ලාදේශයේ නව පාලනය සමඟ ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට රජය අපේක්ෂා කරයි. විශේෂයෙන්ම සෞඛ්‍ය හා මාධ්‍ය ක්ෂේත්‍රයේ සහයෝගීතාව පිළිබඳව නව රජයේ බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට ද අමාත්‍යවරයාට අවස්ථාව හිමි වනු ඇතැයි වාර්තා වේ.














