රජයේ ඉඩම් වෙන්කිරීමේදී සිදුවූ බව කියන දූෂණ වංචා සම්බන්ධයෙන් වරදකරු කරමින් බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂීක් හසීනාට එරෙහිව ඩකා විශේෂ මහාධිකරණය මගින් ඊයේ (01) වසර 10ක සිරදඬුවමක් නියම කරන ලදී. ‘පූර්බචල් නව නගර’ ව්‍යාපෘතිය යටතේ රජයේ ඉඩම් අවභාවිත කරමින් ලබාදීමට එරෙහිව පවරා තිබූ නඩු දෙකකට අදාළව මෙම තීන්දුව ලබාදී ඇති අතර, එක් නඩුවකට වසර 5 බැගින් නඩු දෙකටම වසර 10ක සිරදඬුවමක් මෙලෙස නියම වී තිබේ.
මෙම නඩු තීන්දුවට අනුව ෂීක් හසීනාගේ ඥාති දියණියක මෙන්ම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ද වන ටියුලිප් සිද්ධික් මහත්මියට වසර 4ක සිරදඬුවමක් නියම කර ඇත. මීට අමතරව හසීනාගේ පුත් රෙඩ්වාන් මුජිබ් සිද්ධික් සහ අස්මිනා සිද්ධික් යන අයට ද වසර 7 බැගින් වූ සිරදඬුවම් නියම කර තිබේ. 2024 අගෝස්තු මාසයේදී ඇති වූ මහජන නැගිටීම හමුවේ ඉන්දියාවට පලාගිය ෂීක් හසීනාට එරෙහිව මොහොමඩ් යුනුස්ගේ නායකත්වයෙන් යුත් අන්තර්කාලීන රජය විසින් පවරන ලද නඩු රැසකින් පළමුවැන්න මෙය වේ.












