බටහිර ඉවුරේ ටැමූන් (Tamoun) නගරයේදී ඊශ්‍රායල පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පලස්තීන ජාතික කුඩා පිරිමි දරුවන් දෙදෙනෙකු සහ ඔවුන්ගේ දෙමාපියන් අමානුෂික ලෙස ඝාතනය කර ඇති බව වාර්තා වේ. රාමසාන් උත්සවය වෙනුවෙන් ඇඳුම් පැළඳුම් මිලදී ගෙන ආපසු නිවස බලා යමින් සිටියදී මෙම පවුලට වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඊයේ (මාර්තු 14) ප්‍රමාද වී රාත්‍රියේදීය.
මියගිය පිරිස අතර පස් හැවිරිදි මොහොමඩ්, විශේෂ අවශ්‍යතා සහිත හත් හැවිරිදි ඔත්මන්, ඔවුන්ගේ මව වන 35 හැවිරිදි වාඩ් බනි ඔඩේ සහ පියා වන 37 හැවිරිදි අලි බනි ඔඩේ යන අය වෙති. වෛද්‍ය වාර්තාවලට අනුව මොවුන් සිව්දෙනාගේම හිසට සහ මුහුණට වෙඩි ප්‍රහාර එල්ල වී තිබේ. මෙම ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් 11 හැවිරිදි කාලෙඩ් පවසන්නේ, සිවිල් ඇඳුමින් සැරසී පලස්තීන අංක තහඩු සහිත වාහනයකින් පැමිණි ඊශ්‍රායල ආරක්ෂක අංශ කිසිදු අනතුරු ඇඟවීමකින් තොරව සිය වාහනයට වෙඩි තැබූ බවයි.
ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායල පොලිස් නිලධාරීන් තමාට ද පහර දුන් බවත්, මියගිය තම පවුලේ සාමාජිකයන් “බල්ලන්” ලෙස හඳුන්වමින් තමන්ට අපහාස කළ බවත් රෝහල්ගතව සිටින කාලෙඩ් වැඩිදුරටත් සඳහන් කළේය. ඊශ්‍රායල පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ සැකකටයුතු ලෙස වේගයෙන් පැමිණි වාහනයකින් තර්ජනයක් එල්ල වෙතැයි උපකල්පනය කර මෙම වෙඩි තැබීම සිදු කළ බවයි. කෙසේ වුවද, නිරායුධ දෙමාපියන් සහ කුඩා දරුවන්ගෙන් එල්ල වූ තර්ජනය කුමක්ද යන්න පිළිබඳව අදහස් දැක්වීම ඔවුන් ප්‍රතික්ෂේප කර ඇත.
අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව පෙබරවාරි අග භාගයේදී ඉරානයට එරෙහිව යුද්ධය ආරම්භ කළ දින සිට බටහිර ඉවුරේ පලස්තීන වැසියන්ට එරෙහිව ඊශ්‍රායල පදිංචිකරුවන් සහ ආරක්ෂක අංශ එල්ල කරන ප්‍රහාර ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. පසුගිය සති දෙක තුළ පමණක් මෙවැනි ප්‍රහාරවලින් පලස්තීන වැසියන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. මෙම ඝාතනයන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන සිය දැඩි විරෝධය පළ කර සිටියි.














