සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘බඩෝවිට අසංක’ නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ 28 හැවිරිදි කාන්තාවක රුපියල් ලක්ෂ 15කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සමඟ අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස පොලිසිය සමත් වී තිබේ. ඉකුත් 03 වැනිදා රාත්‍රියේ බඩෝවිට හතරවන අදියරේ පිහිටි පොලිස් මාර්ග බාධකයකදී සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ඇය සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 50යි මිලිග්‍රෑම් 210ක් අඩංගු කැට 40ක් සොයාගත් බව පොලිසිය පවසයි.
බඩෝවිට පස්වන අදියරේ පදිංචිකාරියක වන මෙම සැකකාරිය, ඊයේ (04) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට කටයුතු කර තිබුණි. ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අශෝක ගුණසේකර මහතාගේ උපදෙස් මත, මූලස්ථාන පොලිස් පරීක්ෂක චමින්ද හෙට්ටිආරච්චි මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම ජාවාරම පිටුපස සිටින සෙසු පුද්ගලයන් සොයා වැඩිදුර විමර්ශන මෙහෙයවයි. ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සමීපතම ක්‍රියාකාරිනියක මෙලෙස කොටු කර ගැනීම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාලය මර්දනය කිරීමට ලැබුණු විශාල ජයග්‍රහණයක් ලෙස පොලිසිය සලකයි.














