ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය තුළ පවතින 300%කට අධික දැඩි තදබදය අවම කිරීම සඳහා භාවිතයට නොගන්නා රජයේ ගොඩනැගිලි කිහිපයක් තාවකාලිකව ලබාගෙන ඒවායේ රැඳවියන් රඳවා තැබීමට රජය තීරණය කර තිබේ. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා අද (20) පාර්ලිමේන්තුවේදී මෙම කරුණු අනාවරණය කළේය.
සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද්‍රානී කිරිඇල්ල මහත්මිය යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, දැනට බන්ධනාගාරගතව සිටින 37,000ක රැඳවියන් පිරිසෙන් 27,000ක්ම මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වූවන් බවයි. ඇතැම් බන්ධනාගාරවල තදබදය 500% ඉක්මවා ඇති බව ද මෙහිදී අනාවරණය විය.
ඇප මුදල් සහ දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව බන්ධනාගාරගතව සිටින රැඳවියන් වෙනුවෙන් රජය දිනකට රුපියල් 1,000ක මුදලක් වැය කරන බව මන්ත්‍රීවරිය පෙන්වා දුන්නාය. දකුණු අප්‍රිකාව වැනි රටවල ක්‍රියාත්මක වන ආකාරයේ ‘ඇප අරමුදලක්’ (Bail Fund) හරහා මෙවැනි රැඳවියන් නිදහස් කිරීමට ඇති හැකියාව පිළිබඳව ද ඇය රජයේ අවධානය යොමු කළාය.
රැඳවියන් නිදහස් කිරීම ප්‍රමාද වීමට ප්‍රධාන හේතුවක් වී ඇති රස පරීක්ෂක වාර්තා ලබාගැනීම කඩිනම් කිරීම සඳහා රජය සෘජු පියවර ගෙන තිබේ. ඒ අනුව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට අලුතින් රස පරීක්ෂකවරුන් 50 දෙනෙකු බඳවා ගැනීමට අනුමැතිය ලැබී ඇත.
තවත් 32 දෙනෙකු බඳවා ගැනීමට අවසර ඉල්ලා තිබේ.
ඉදිරි මාස 3 ඇතුළත ප්‍රමාද වී ඇති සියලු වාර්තා ලබාගැනීමට සැලසුම් කර ඇත.
රස පරීක්ෂක වාර්තා කඩිනම් කිරීම හරහා මත්ද්‍රව්‍ය චෝදනා යටතේ රඳවා සිටින පිරිසකගේ නඩු කටයුතු වේගවත් කිරීමටත්, එමගින් බන්ධනාගාර තදබදය සැළකිය යුතු ලෙස අඩු කිරීමටත් රජය අපේක්ෂා කරයි.














