මැදපෙරදිග යුදමය වාතාවරණය හමුදා ඉලක්කවලින් ඔබ්බට ගොස් ආර්ථික මධ්‍යස්ථාන දක්වා ව්‍යාප්ත වෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. අමෙරිකාවට සහ ඊශ්‍රායලයට සම්බන්ධ බැංකු සහ ආර්ථික මධ්‍යස්ථාන ඉලක්ක කළ හැකි බවට ඉරානයේ ‘ඛාතම් අල්-අන්බියා’ (Khatam al-Anbiya) ඒකාබද්ධ හමුදා මූලස්ථානය අනතුරු ඇඟවීමක් කර ඇත. විශේෂයෙන්ම බැංකු පද්ධතිවල සිට කිලෝමීටරයක දුරින් සිටින ලෙස ඉරානය සිවිල් වැසියන්ට දැනුම් දීමත් සමඟ ගල්ෆ් කලාපයේ ප්‍රධාන මූල්‍ය කේන්ද්‍රස්ථානවල දැඩි නොසන්සුන්තාවක් හටගෙන තිබේ.
මෙම අනතුරු ඇඟවීමත් සමඟ Citigroup, Standard Chartered සහ HSBC වැනි ප්‍රධාන ජාත්‍යන්තර බැංකු ඩුබායි, කටාර් සහ බහරේන් යන රටවල පිහිටි සිය ශාඛා තාවකාලිකව වසා දැමීමටත්, සේවකයන් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කිරීමටත් පියවර ගෙන ඇත. ඉරානයේ විශාලතම රාජ්‍ය බැංකුවක් වන ‘බැංකු සෙපා’ (Bank Sepah) වෙත එල්ල වූ ප්‍රහාරයකට ප්‍රතිචාර ලෙස ඉරානය මෙම පියවර ගෙන ඇති බව විශ්ලේෂකයෝ පවසති. මෙම තත්ත්වය හේතුවෙන් ඩුබායි සහ දෝහා වැනි කාර්යබහුල මූල්‍ය නගරවල දෛනික කටයුතුවලට දැඩි බාධා එල්ල වී ඇති අතර, ගෝලීය කොටස් වෙළඳපොළ කෙරෙහි ද මෙහි බලපෑම එල්ල වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














