එක්සත් රාජධානියේ ස්ථිර පදිංචිය හෙවත් “Indefinite Leave to Remain” (ILR) ලබා ගැනීම සඳහා දැනට පවතින වසර 5ක කාල සීමාව වසර 10ක් දක්වා දීර්ඝ කිරීමට එරට ස්වදේශ කටයුතු ලේකම්වරිය යෝජනා කර තිබේ. මෙම යෝජිත නීතිමය වෙනස්කම 2021 වසරෙන් පසුව බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වූ මිලියන 2.6ක පමණ පිරිසකට සෘජුවම බලපාන අතර, ඒ අතර සිටින දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයින් සිය අනාගතය පිළිබඳව දැඩි අවිනිශ්චිතතාවයකට පත්ව සිටිති.
බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබා ගැනීමේ ප්‍රධාන පියවරක් වන ILR පහසුකම ප්‍රමාද වීම නිසා, සංක්‍රමණිකයින්ට පොදු සේවා ලබා ගැනීම සහ රැකියා සීමාවන්ගෙන් මිදීමට ඇති අවස්ථාව තවත් වසර ගණනාවකින් පසුවනු ඇත. බීබීසී සිංහල සේවය සමඟ අදහස් දැක්වූ ශ්‍රී ලාංකිකයින් පවසන්නේ, ස්ථිර පදිංචිය ලැබෙන තෙක් දරුවන් හැදීම වැනි පවුල් සැලසුම් පවා කල් දැමීමට සිදුව ඇති බවයි. විශේෂයෙන්ම වසර 10ක් වැනි දීර්ඝ කාලයක් බලා සිටීමට සිදුවීම ඔවුන්ගේ මූලික ජීවන සිහින බොඳ කරවන්නක් බව ඔවුහු පෙන්වා දෙති.













