ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ගෙන්වන ලද “හියුමන් ඉමියුනොග්ලොබියුලින්” සහ “රිටොක්සිමැබ්” ඖෂධ සම්බන්ධයෙන් ගැටලු පැන නැගුණු අවස්ථාවේදී, ඒ පිළිබඳව විධිමත් සොයාබැලීමක් සිදු කරන ලෙස එවකට ඖෂධ නියාමන අධිකාරියේ සභාපති (12 වන චූදිත) තමාට උපදෙස් දුන් බව ඖෂධ නියාමන අධිකාරියේ සහකාර ඖෂධ ඇගයීම් නිලධාරිනි නිෂානි ලංකා කරුණාතිලක මහත්මිය ඊයේ (19) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.
පොලිසියට පැමිණිලි කිරීමට පෙර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඇතුළු ආයතනවලින් මේ පිළිබඳව සොයා බලන ලෙස සභාපතිවරයා උපදෙස් දුන් බවත්, ඒ අනුව කළ විමර්ශනයේදී අදාළ ඖෂධ සඳහා ඇගයීම් කමිටු වාර්තා හෝ ආනයන අයැදුම් පත්‍ර ලැබී නොමැති බව තහවුරු වූ බවත් ඇය පැවසුවාය. එසේම අදාළ ඖෂධ නිෂ්පාදනය කළ බව කියන ඉන්දියානු සමාගම පිළිබඳව විමසීමේදී, එවැනි ඖෂධයක් එම සමාගම විසින් නිෂ්පාදනය කර නොමැති බව අනාවරණය වූ බව සාක්ෂිකාරිය වැඩිදුරටත් සඳහන් කළාය. රේගුවට ඉදිරිපත් කර තිබූ ඖෂධ ඇගයීම් කමිටු සහතිකය ඖෂධ නියාමන අධිකාරිය විසින් නිකුත් කරන ලද්දක් නොවන බවත්, එහි ආකෘතිය පවා නිල සහතිකවලට වඩා වෙනස් බවත් ඇය මෙහිදී පෙන්වා දුන්නාය.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව පවරා ඇති මෙම නඩුව ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් හමුවේ විභාග වේ. ප්‍රමිතියෙන් තොර එන්නත් කුප්පි 6,195ක් සපයා රුපියල් කෝටි 14කට අධික මුදලක් වංචා කිරීම ඇතුළු චෝදනා 13ක් යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර ඇත.
පුරා දින අටක් තිස්සේ ලබා දුන් නිෂානි ලංකා කරුණාතිලක මහත්මියගේ සාක්ෂි විමසීම ඊයේ අවසන් වූ අතර, නඩුව නැවත පෙබරවාරි 23 වැනිදා කැඳවීමට නියමිතය. එදිනට සාක්ෂි ලබා දීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදීන් දෙදෙනෙකුට අධිකරණය විසින් සිතාසි නිකුත් කරන ලදී.














