බෝගවන්තලාව ප්‍රදේශයේ තේ වතුයායක සැරිසැරූ දිවියෙකු සහ දිවි පැටවකු පසුපස සුනඛයන් පිරිසක් ලුහුබැඳ යාම හේතුවෙන්, දිවි පැටවා බේරීම සඳහා අසල වූ ගසකට නැඟී සිටින දුර්ලභ දර්ශනයක් වතු කම්කරුවෙකුගේ ජංගම දුරකථනයක සටහන් වී තිබේ. ඊයේ (03) දින සිය මව සමඟ දඩයමේ යමින් සිටි මෙම දිවි පැටවා, වතුයායේ සිටි සුනඛයන් පිරිසක් එක්ව ලුහුබැඳ ඒමත් සමඟ ආරක්ෂාව පතා මෙලෙස ගසට නැඟ ඇති බව වාර්තා වේ. දිවි මව අසල රැඳී සිට ඇති අතර, සුනඛයන් එම ස්ථානයෙන් ඉවත් වූ පසු පැටවා ආරක්ෂිතව ගසෙන් බැස මව සමඟ තේ වතුයාය දෙසට ගමන් කර ඇත.
ප්‍රදේශයේ වතු කම්කරුවන් පවසන්නේ සුනඛයන් දඩයම් කිරීම සඳහා මෑතක සිට දිවියන් නිතර තේ වතු ආශ්‍රිත ජනාවාස වෙත පැමිණෙන බවයි. මෙම සිද්ධියත් සමඟ වතු ආශ්‍රිතව ජීවත් වන ජනතාවට සිය ආරක්ෂාව පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස ප්‍රාදේශීය බලධාරීන් දැනුම් දී තිබේ. වනජීවී නිලධාරීන් ද මේ පිළිබඳව දැනුවත් කර ඇති අතර, දිවියන්ගෙන් සිදුවන බලපෑම් අවම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාව ඉල්ලා සිටිති.














