ගුවන් ගමනක නිරත වෙමින් තිබූ බෝයිං (Boeing) වර්ගයේ ගුවන් යානයක එන්ජිමක කොටසක් ගුවනේදී ගැලවී යාම හේතුවෙන් දැඩි අවදානම් තත්ත්වයක් මතු වූ පුවතක් නයිජීරියාවෙන් වාර්තා වේ. නයිජීරියානු Arik Air ගුවන් සමාගමට අයත් B 737-700 මාදිලියේ යානයක් මෙලෙස හදිසි තත්ත්වයක් යටතේ ගොඩබැස්වීමට නියමුවන් පියවර ගෙන තිබේ.
ඊයේ (11) දින නයිජීරියාවේ ලාගෝස් සිට පෝට් හාර්කෝට් බලා පියාසර කරමින් තිබූ මෙම යානය අනතුරට මුහුණ දෙන අවස්ථාවේදී එහි මගීන් 80 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය ගමන් කරමින් සිට ඇත. යානයේ වම් පස පිහිටි CFM56-7B20 වර්ගයේ එන්ජිමක කොටසක් මෙලෙස ගැලවී ගොස් ඇති අතර, එම කොටස වැදීමෙන් යානයේ පසුපස පියාපත් කලාපයට ද (Tail section) දැඩි හානි සිදුව තිබූ බව වාර්තා වේ.
ගුවනේදී මතු වූ මෙම බියකරු තත්ත්වය හමුවේ වුවද, නියමුවන්ගේ දක්ෂතාවය මත යානය ආරක්ෂිතව ගොඩබැස්වීමට හැකි වී තිබේ. සිද්ධියෙන් යානයේ සිටි කිසිදු මගියෙකුට හෝ කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට අනතුරක් සිදුව නොමැති බව Arik Air ගුවන් සමාගම තහවුරු කළේය.
මෙම අනතුර සම්බන්ධයෙන් අදහස් දැක්වූ නියමුවන් පවසා සිටියේ, එන්ජිමේ කොටසක් ගැලවී යාම සහ පියාපත් ප්‍රදේශයට හානි වීම හේතුවෙන් යානය පාලනය කිරීම තරමක අවදානම් සහගත වූ බවයි. බෝයිං යානා සම්බන්ධයෙන් මෑත කාලීනව වාර්තා වූ තවත් එක් තාක්ෂණික දෝෂයක් ලෙස මෙය ජාත්‍යන්තර ගුවන් ක්ෂේත්‍රයේ අවධානයට ලක්ව තිබේ.
















