මත්ද්‍රව්‍ය භාවිතා කරන රියදුරන් හෝ කොන්දොස්තරවරුන් සේවයේ යොදවන බස්රථ හිමිකරුවන්ගේ මාර්ග බලපත්‍රය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකදී අමාත්‍යවරයා අවධාරණය කළේ තම බස් රථයේ සේවකයන් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නේද යන්න පිළිබඳව අයිතිකරුට පැහැදිලි අවබෝධයක් පවතින බැවින්, ඔවුන්ගේ ක්‍රියාවන් සම්බන්ධයෙන් අයිතිකරු ද වගකිව යුතු බවයි.
පොදු ප්‍රවාහන සේවයේ මගී සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා මෙම දැඩි තීරණය ගත් බවත්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි නොවූ විනයගරුක තරුණ රියදුරන් ඕනෑතරම් ගම්වල සිටින බැවින් එවැනි පිරිස් සේවයට බඳවා ගන්නා ලෙසත් අමාත්‍යවරයා බස් හිමියන්ට උපදෙස් දුන්නේය. මත්ද්‍රව්‍ය භාවිතා කරන සේවකයින් නිසා තම ව්‍යාපාරය සහ බලපත්‍රය අහිමි කරගන්නවාද නැද්ද යන්න තීරණය කිරීම බස් හිමිකරුවන් සතු වගකීමක් බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.














