මතුගම පොලිස් ස්ථානයේ උපසේවා භාරයේ තිබූ පිස්තෝලයක් අතුරුදන් වී ඇති බව මතුගම පොලිසිය අද (01) නිල වශයෙන් තහවුරු කළේය. මෙම ගිනි අවිය අස්ථානගත වී ඇති බව මුලින්ම අනාවරණය වී ඇත්තේ ඊයේ (31) දිනයේදීය. පොලිස් ස්ථානයේ දිවා කාර්යභාර නිලධාරියා විසින් අවි ගබඩාවේ ඇති ගිනි අවි සහ පතොරම් පරීක්ෂාවට ලක් කිරීමේදී මෙම පිස්තෝලය අඩුවී ඇති බව හෙළි වී තිබේ.
රජයේ ගිනි අවියක් මෙලෙස අතුරුදන් වීම සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුව දැඩි අවධානය යොමු කර ඇති අතර, එය සොරකම් කිරීමක් ද නැතහොත් නිසි පරිදි භාර නොදීමක් ද යන්න පිළිබඳව විමර්ශන ක්‍රියාත්මකයි. සිද්ධිය සම්බන්ධයෙන් අදාළ අංශ භාර නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත අතර, උසස් පොලිස් නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මේ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.














