ඉතාලි සහ තුර්කි වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී අද (01) සිදු වූ වෙනම නෞකා අනතුරු දෙකකින් සංක්‍රමණිකයන් 38 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. අධික සීතල සහ අයහපත් කාලගුණික තත්ත්වයන් මධ්‍යයේ යුරෝපයට ඇතුළු වීමට උත්සාහ කළ පිරිසක් මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.
ඉතාලියේ ලම්පෙඩුසා (Lampedusa) දූපතට ඔබ්බෙන් වූ මුහුදේදී ලිබියානු මුදවා ගැනීමේ කලාපය තුළ සිදුවූ අනතුරකින් පුද්ගලයන් 19 දෙනෙකු මියගොස් ඇත. දැඩි සුළඟ, වර්ෂාව සහ අවම උෂ්ණත්වය හේතුවෙන් ඇති වූ අධික සීතල (Hypothermia) මොවුන්ගේ මරණවලට හේතුවී ඇති බව බලධාරීහු පවසති. තවත් සංක්‍රමණිකයන් හත් දෙනෙකු, ළමුන් දෙදෙනෙකු ද ඇතුළුව, දැනට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටිති.
මේ අතර, තුර්කියේ බෝඩ්රම් (Bodrum) වෙරළට ඔබ්බෙන් වූ ඊජියන් මුහුදේදී ඇෆ්ගනිස්ථාන සංක්‍රමණිකයන් රැගත් වේගවත් යාත්‍රාවක් පෙරළී යාමෙන් ළදරුවෙකු ඇතුළු තවත් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. තුර්කි වෙරළාරක්ෂක බලකායෙන් මිදී පළා යාමට උත්සාහ කිරීමේදී රළු මුහුදේදී මෙම යාත්‍රාව පෙරළී ගොස් ඇති අතර තවත් පුද්ගලයන් 20 දෙනෙකු බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත් වී ඇත. එක්සත් ජාතීන්ගේ සංක්‍රමණිකයන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානයට (IOM) අනුව 2026 වසරේ මේ දක්වා කාලය තුළ මධ්‍යධරණී මුහුදේදී සංක්‍රමණිකයන් 624 දෙනෙකු මියගොස් හෝ අතුරුදහන් වී තිබේ.














