මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවන අදියරේ දෙවන කොටස සඳහා දැනට ක්‍රියාත්මක වන ප්‍රසම්පාදන ක්‍රියාවලිය විනිවිදභාවයකින් තොර බවත්, එහි අව්‍යාජ තරඟකාරිත්වයක් නොමැති බවත් සඳහන් කරමින් ජාතික ඉදිකිරීම් සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ. සුදුසුකම්ලත් දේශීය කොන්ත්‍රාත්කරුවන් රැසක් සිටියදී මෙම ලංසු ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය හය හත් දෙනෙකු වැනි ඉතා සීමිත පිරිසකට පමණක් සීමා වී ඇති බවත්, එමඟින් රජයට අධික පිරිවැයක් දැරීමට සිදුවිය හැකි බවත් එම සංගමය පෙන්වා දෙයි. විශේෂයෙන්ම ලංසු සුරැකුම්පත් සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා නොදීම සහ බැංකු මඟින් පනවා ඇති ඇතැම් අවහිරතා හේතුවෙන් දේශීය ඉදිකිරීම්කරුවන්ට මෙම ව්‍යාපෘතියට දායක වීමට ඇති අවස්ථාව ඇහිරී යන බව එම ලිපියේ සඳහන් වේ.
මහජන විශ්වාසය සුරකිමින් සාධාරණ ටෙන්ඩර් ක්‍රියාවලියක් සහතික කිරීම සඳහා ලංසු ඉදිරිපත් කිරීමේ කාලය දීර්ඝ කරන ලෙසත්, සුදුසුකම්ලත් ජාත්‍යන්තර ලංසුකරුවන්ට ද අවස්ථාව විවෘත කරන ලෙසත් ජාතික ඉදිකිරීම් සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී. පසුගිය වසර පහක කාලය තුළ දේශීය ඉදිකිරීම් ක්ෂේත්‍රය මුහුණ දුන් පසුබෑම හමුවේ මෙවැනි මහා පරිමාණ ව්‍යාපෘති සඳහා දේශීය සහභාගීත්වය උපරිම කිරීම යහපත් රාජ්‍ය පාලනයට අත්‍යවශ්‍ය කරුණක් බව ද එම ලිපිය මඟින් වැඩිදුරටත් අවධාරණය කර ඇත.














