මන්නාරම ප්‍රදේශයේ මෙගාවොට් 20ක සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් මේ වන විට ආරම්භ කර තිබෙනවා.
ඊට අමතරව මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාරයක ඉදිකිරීම් ආරම්භ කිරීමට නියමිතයි.
කෙසේ වෙතත්එම ඉදිකිරීම් කටයුතු මසකින් කල්දැමීමට තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
යෝජිත සුළං විදුලි බලාගාරය සහ මතු වී ඇති ගැටලු පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ පැවැත්වුණා.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
රටේ බලශක්ති අවශ්‍යතාව සහ ආර්ථිකයට මෙම ව්‍යාපෘතියේ වැදගත්කම පිළිබඳව මෙහි දී අවධානය යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.
ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේ දී පෙන්වා දී ඇත්තේ බලශක්තිය රටේ ජාතික සම්පතක් බවත්, විදුලි බල ගැටලුව ගෘහස්ථ විදුලි බිලට පමණක් නොව රටේ නිෂ්පාදන පිරිවැය, විදෙස් ආයෝජන සහ සමස්ත ආර්ථිකය සමඟ බැඳී පවතින බවයි.
මෙම ව්‍යාපෘති මඟින් ජනතාවගේ ජීවන වෘත්තියට, ආර්ථිකයට හා ජීවිතය පවත්වාගෙන යාම සඳහා වන බලපෑම් සහ ජනතාවගේ ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට රජය ඕනෑම අවස්ථාවක සූදානම් බවත් එතුමා අවධාරණය කරනවා.
රටේ සියලුම සම්පත් මේ රටේ ජනතාවට අයිති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දෙනවා.
සංවර්ධන ව්‍යාපෘති තවදුරටත් පමා කිරීමෙන් සිදුවන්නේ රටේ ආර්ථිකය ගොඩනැගීමට තිබෙන අවස්ථාව මඟ හැරයාම සිදුවනවා.
සංවර්ධන ව්‍යාපෘතිවලට විරෝධතා දැක්වීම නිසා සිදුවන්නේ ආයෝජකයින්ට, කර්මාන්තකරුවන්ට සහන ලබාදීමට ආණ්ඩුවට නොහැකි වීමයි.
එම නිසා සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී සියලු පාර්ශ්ව එකඟතාවයන්ට පැමිණිය යුතු බවත් එම ව්‍යාපෘති හේතුවෙන් ජනතාවට සිදුවන බලපෑම සම්බන්ධයෙන් ඕනෑම අවස්ථාවක විසඳුම් ලබාදීමට රජය සූදානම් බවත් ජනාධිපතිවරයා අවධාරණය කරනවා.
මන්නාරම ප්‍රදේශය නියෝජනය කරමින් ආගමික නායකයින් සහ ප්‍රදේශවාසීන් මෙම සාකච්ඡාවට සහභාගී වුණා.
ඔවුන් කියා සිටියේ, ඉල්මනයිට් ව්‍යාපෘතිය සහ සුළං බලාගාර ව්‍යාපෘතිය නිසා පරිසර හානි මෙන්ම ජන ජීවිතයට බලපෑම් එල්ල වන බවයි.
පරිසර වාර්තා සහ නිර්දේශ නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොකිරීම පිළිබඳවද එම ජනතාව අනුර කුමාර දිසානායක මහතාට පැහැදිලි කළා.
මන්නාරම ප්‍රදේශයේ ජනතාවට මුහුණ දෙන ගැටලු සොයා බැලීම සඳහා මෙම ව්‍යාපෘතිය මසකින් කල්දැමීමටත් මධ්‍යම පරිසර අධිකාරියේ ඇගයීම් වාර්තාවල අනුමැතියකින් තොරව එම ව්‍යාපෘතිය ඉදිරියට ක්‍රියාත්මක නොකිරීමටත් ජනාධිපතිවරයා පියවර ගත්තා.
එම කාලය තුළ ගැටලු සොයා බලා ඊට කඩිනම් විසඳුම් ලබාදීමට කටයුතු කරන බවත් එතුමා අවධාරණය කළා.
අදානි සමාගම මඟින් විදුලි ඒකකයක් අමෙරිකානු ඩොලර් ශත 8.26කට මිලදී ගැනීමටයි මිට පෙර සැලසුම් කර තිබුණේ.
එය ලංකාවේ මුදලින් රුපියල් 25ක්.
නමුත් මෙම සුළං විදුලි ව්‍යාපෘතියේ නිෂ්පාදිත විදුලි ඒකකයක මිල අමෙරිකානු ඩොලර් ශත 4.65ක්.
එය ශ්‍රී ලංකා රුපියල් 13ක් පමණ වනවා.
විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමේ සාමාන්‍ය මිල රුපියල් 13ක අවස්ථාවරයකට පවත්වාගෙන යාමට රජය සැලසුම් කර තිබෙනවා.
උතුරේ කෝකිලායි පාලම ප්‍රතිසංස්කරණය කිරීම සහ මන්නාරම නව ජල යෝජනා ව්‍යාපෘතිය සඳහා ලබන අයවැය මඟින් ප්‍රතිපාදන වෙන් කිරීමට කටයුතු කරන බව ද මෙහිදී ජනාධිපතිවරයා අනාවරණය කළා.
සුළං විදුලි බලාගාරය හේතුවෙන් මන්නාරම ප්‍රදේශයේ ඇති විය හැකි ගංවතුර තත්ත්වයක් තිබේ නම් ඒ පිළිබඳ වාර්තාවක් සකසා දෙන ලෙස ඉඩම් ගොඩකිරීමේ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙන බවයි සාකච්ඡාවට එක් වූ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ප්‍රකාශ කළේ.
ඉඩම් ගැටලු විසඳීම සඳහා, වනජීවී දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය, ඉඩම් අමාත්‍යංශය සහ පරිසර අමාත්‍යංශය එක්ව උතුරේ ඉඩම් පිළිබඳ වාර්තාවක් සකස් කර යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතයි.