මෙරට කලා කෙත පෝෂණය කළ විශිෂ්ට කවියෙකු, සංගීතඥයෙකු සහ ලේඛකයෙකු වූ ගරු මර්සලින් ජයකොඩි පියතුමාගේ 28 වන ගුණානුස්මරණය නිමිත්තෙන් සංවිධානය කෙරෙන “සුවඳ ජලේ පිපි කුමුදුිනියේ – මර්සලින් ජයකොඩි ප්‍රගීතාවලිය” උපහාර සංගීත සන්ධ්‍යාව හෙට (08) පස්වරු 6.00 ට මග්ගොන ශාන්ත වින්සන්ට් නිවාසයේදී පැවැත්වේ.
මග්ගොන ශාන්ත වින්සන්ට් නිවාසයේ නිර්මල මරිය නිකායික (OMI) පූජකතුමන්ලා විසින් සංවිධානය කරනු ලබන මෙම උපහාර උළෙල, මෙරට සංස්කෘතියට සහ නිදහසට සුවිශේෂී මෙහෙවරක් කළ යතිවරයාණන් කෙනෙකු අගය කිරීමේ අරමුණින් පැවැත්වේ. එතුමා අතින් ලියැවුණු අමරණීය ගීත සහ ගීතිකා මෙහිදී තරුණ පිරිස් සහ පූජකතුමන්ලා විසින් ගායනා කිරීමට නියමිත අතර, එම නිර්මාණවල පවතින සාහිත්‍යමය සහ සංගීතමය ගැඹුර පිළිබඳ විද්වත් සාකච්ඡා ද පැවැත්වීමට නියමිතය.
1948 පළමු නිදහස් සමරුවේදී ‘නමෝ නමෝ මාතා’ ගීතය ගායනා කළ ගායන කණ්ඩායම පුහුණු කරමින් එය ජාතික ගීය ලෙස පිළිගැනීමට පදනම දැමූ ජයකොඩි පියතුමා, 1983 දී ආසියාවේ නොබෙල් ත්‍යාගය ලෙස සැලකෙන රැමෝන් මැග්සයිසේ (Ramon Magsaysay) සම්මානයෙන් පිදුම් ලැබූ එකම ශ්‍රී ලාංකික පූජකවරයා ද වේ.
බටහිර ඌරුවට තිබූ කිතුනු සංගීතය දේශීයකරණය කරමින් “පන්සලේ පියතුමා” ලෙස විරුදාවලිය ලත් එතුමා, ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ‘රේඛාව’ චිත්‍රපටයට ‘ඕලු නෙලුම් නෙරිය රඟාලා’ වැනි අමරණීය ගීත රචනා කරමින් මෙරට සිනමා සංගීතයට ද නව මගක් පෙන්වූහ. 1998 ජනවාරි 15 වනදා අප අතරින් වෙන් වූ ජයකොඩි පියතුමා සිහිපත් කරමින් පවත්වන මෙම උපහාර උළෙල, මෙරට සංස්කෘතික අනන්‍යතාවය අගය කරන සැමට විවෘත වේ.














