මහනුවර මහා නගර සභාව විසින් මෑතකදී සිදුකර ඇති වරිපනම් බදු සංශෝධනය හේතුවෙන් තමන් දැඩි මූල්‍ය අසීරුතාවකට පත්ව ඇති බව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෝ පවසති. වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ ව්‍යාපාරික කටයුතු පහත වැටී ඇති මොහොතක, කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව මෙලෙස විශාල ප්‍රතිශතයකින් වරිපනම් ගාස්තු ඉහළ නැංවීම අසාධාරණ බව ඔවුහු පෙන්වා දෙති.
නගර සභා බලප්‍රදේශයේ බොහෝ වෙළඳසැල් සහ ව්‍යාපාරික ස්ථාන සඳහා වන බදු මුදල පෙර පැවති අගයට වඩා කිහිප ගුණයකින් වැඩි වී ඇති අතර, මෙය ව්‍යාපාර පවත්වාගෙන යාමට බාධාවක් බව ව්‍යාපාරික සංගම් අවධාරණය කරයි. මේ සම්බන්ධයෙන් නගර සභා බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමටත්, බදු සංශෝධනය සඳහා සහනයක් ලබා ගැනීමටත් ව්‍යාපාරික ප්‍රජාව ඉදිරියේදී පියවර ගැනීමට නියමිතය.














