මහින්ද රාජපක්ෂලාට රට හදන්න වැඩපිළිවෙළක් නොමැති බවත් ඔහු මාධ්‍ය ඉදිරියේ නිරුත්තර වීමෙන්ම එය පැහැදිලි බව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා පවසයි.
අද (10) එම පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේ වත්මන් රජයේ ආර්ථික ප්‍රතිපත්ති වැරදි බවයි. මේ ආර්ථිකය කඩා වැටීමට හේතුව වන්නේ මහින්දලාගේ රනිල්ලාගේ ආර්ථික ප්රතිපත්තිවල අසාර්ථකභාවය බව රත්නායක මහතා කියා සිටියේය.
එම මාධ්‍ය හමුවේදී රත්නායක මහතා “මාස 3-4ක් ඇතුළත හදිසියෙන් කළ යුතු නිෂ්පාදන සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුයි. උදාහරණයක් ලෙස ගත්තොත් අපේ රටේ වසරකට පාසැල් බෑග් ලක්ෂ 50ක අවශ්‍යතාවයක් තිබෙනවා. ඉන් විශාල ප්‍රමාණයක් අපි ආනයනය කරනවා. නමුත් අපේ රටේ ව්‍යාපාරිකයින් සමඟ කළ සාකච්ඡාවකදී තහවුරු වුණේ මාස 4ක කාලයක් තුළ අපිට බෑග් ලක්ෂ 20ක් පමණ නිෂ්පාදනය කළ හැකි බවයි. මේ ආකාරයට නියමිත ප්‍රමිතියෙන් යුතු ආනයන ආදේශිත භාණ්ඩ නිෂ්පාදනය කරන්න අපි අවධානය යොමු කළ යුතුයි. ඊළග කරුණ ලෙස අත්‍යාවශ්‍ය නොවන ආනයන සීමා කිරීමට අවධානය යොමුකළ යුතුයි. ඉන් අදහස් වෙන්නේ මංගල යෝජනා කරන වාහන ආනයනය වැනි දේවලූයි. ඒ වගේම මැදි කාලීන විසඳුම් ලෙස තෙල් ටැංකි අප සතුව තබාගෙන එමගින් ඩොලර් උපයා ගැනීම ක්‍රියාමාර්ග ගත යුතුව තිබෙනවා. අපේ රටේ විදේශ සංචිත වැඩි ප්‍රමාණයක් තිබෙන්නේ ඩොලර් ලෙසයි. ඩොලර්වලින් ගනුදෙනු කරන අතර අපි යුරෝ, යුවාන්, යෙන් වැනි විදේශීය මුදල් සඳහා අපේ අවධානය යොමු කළ යුතුව තිබෙනවා. දැනට අපිට තිබෙන විශ්වාසවන්ත තොරතුරු අනුව මෛත්‍රි-මහින්ද-බැසිල් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහෙම සාකච්ඡාවක් කරපු නිසා තමයි ඔවුන් දෙදෙනාම නැහැ කියලා කියන්නේ. මෛත්‍රි ජනාධිපතිවරයා අද ඉව වැරදුණු කෙනෙක් වගේ හැම එකකටම ඉව අල්ල අල්ල යනවා. ඔහු ජනවරම පාවා දීලා ඊළඟ වතාවේ ජනාධිපතිවරයා වෙන්න උත්සාහ කරනවා. ඒ වෙනුවෙන් තමන් වළ පල්ලට යවනවා කියපු කෙනාට අගමැති තනතුර ලබාදීලා හරි තමන්ට ජනාධිපතිකම ගන්න උත්සාහ කරනවා. නමුත් ඔහුට මීට පෙර ඡුන්දය දුන් ජනතාව හෝ මහින්ද රාජපක්ෂ නියෝජනය කරන ඡන්ද දායකයින් හෝ සහායක් ලබා නොදෙන බව අපිට විශ්වාසයි. ආණ්ඩුවට තිබෙන්නේ අරුම පුදුම තෙල් මිල සූත්‍රයක්. ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ ලේකම් රාජකරුණා විසින් මෙම මිල සූත්‍රය ඉල්ලා සිටියා. නමුත් ඛනිජ තෙල් සංස්ථාවේ සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් විවිධ හේතු කියමින් මිල සූත්‍රය ලබාදීම ප්‍රතික්ෂේප කළා. එනිසාම තොරතුරු ලබා නොදීමට එරෙහිව ඒ සම්බන්ධයෙන් අභියාචනයක් පැවැත්වීමට නියමිතයි. ආණ්ඩුව මෙම මිල සූත්‍රය ලබා නොදීමට හේතුවක් තිබෙනවා. අද රු. 149ට විකුණන පෙට්‍රල් ලීටරයට ආණ්ඩුව බදු වශයෙන් රු. 71ක් අයකර ගන්නවා. ඞීසල් ලීටරයකට ආණ්ඩුව බදු ලෙස රු. 37ක් අයකර ගන්නවා. එවැනි තත්වයක් තිබියදී තමයි ආණ්ඩුව මිල සූත්‍රයක් දාලා තෙල් මිල වැඩි කරමින් තිබෙන්නේ. යැයි රත්නායක මහතා කියා සිටියේය.