ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පස්වන දිනටත් සත්‍යග්‍රහයේ නිරත මාදැල් ධීවරයින්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් මේ මොහොතේ ඍජු පිළිතුරක් ලබාදිය නොහැකි බව ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසයි. අද (09) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මෙම ගැටලුව මේ වන විට අධිකරණය හමුවේ පවතින බැවින් නීතිමය තත්ත්වය මත මැදිහත් වීමට බාධා පවතින බවයි.
ධීවරයින් විසින් අමාත්‍යංශයේ තීරණයට එරෙහිව නඩුවක් ගොනු කර ඇති බැවින්, ලබන 27 වනදා අධිකරණ තීන්දුව ලැබෙන තෙක් රජයට නිශ්චිත අදහසක් ප්‍රකාශ කළ නොහැකි බව ඔහු සඳහන් කළේය. “අපි ධීවරයින්ට ආදරෙයි, ඔබව රැකගන්න අපි බැඳී සිටිනවා. නමුත් ප්‍රශ්නය උසාවියට ගෙන ගොස් ඇති නිසා තීන්දුවෙන් පසුව සාකච්ඡා කිරීමට අපි සූදානම්,” යැයි අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
පරිසරය මෙන්ම ධීවර ජීවනෝපාය යන දෙකම ආරක්ෂා වන පරිදි ඉදිරියේදී කටයුතු කරන බවත්, නීතිමය ක්‍රියාවලියෙන් පසුව නිවැරදි තැනක සිට සාකච්ඡා කිරීමට එක්වන ලෙසත් අමාත්‍යවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය. කෙසේ වෙතත්, ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ඉල්ලා ධීවරයින් සිය විරෝධතාවය තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යයි.














