අසත්‍ය තොරතුරු බෙදාහැරීම හේතුවෙන් මාධ්‍ය කෙරෙහි පවතින විශ්වාසය දුර්වල වීම ඕනෑම සමාජයක පැවැත්මට බරපතළ තර්ජනයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසන්නීය. කොළඹ ආනන්ද විද්‍යාලයීය මාධ්‍ය ඒකකය සංවිධානය කළ “සංදේශය” සම්මාන ප්‍රදානෝත්සවයට ඊයේ (14) එක්වෙමින් ඇය අවධාරණය කළේ, අද වන විට තොරතුරු සන්නිවේදනය ප්‍රජාතන්ත්‍රීකරණය වී තිබුණද, එම නිදහස වගකීම් විරහිතව භාවිත කිරීමෙන් ජාත්‍යන්තරව පවා ප්‍රජාවන් අතර ගැටුම් සහ ජීවිත විනාශයන් සිදුව ඇති බවයි.
තොරතුරු තාක්ෂණයේ වේගවත් දියුණුවත් සමඟ පුරවැසියන් පාරිභෝගිකයන් පමණක් නොව මාධ්‍යකරුවන් බවට ද පත්ව ඇති බවත්, එහිදී සත්‍ය අසත්‍යතාව තෝරා බේරා ගැනීමේ විශාල අභියෝගයකට අප මුහුණ දී සිටින බවත් ඇය පෙන්වා දුන්නාය. වැරදි තොරතුරු නිසා නායකයන්, වැඩිහිටියන් සහ ආයතන කෙරෙහි පවතින විශ්වාසනීයත්වය පළුදු වීම සමාජ අර්බුදයක් දක්වා වර්ධනය විය හැකි බැවින්, පාසල් දරු පරපුරට ඩිජිටල් සාක්ෂරතාව සහ විවේචනාත්මක චින්තනය ලබා දීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අත්‍යවශ්‍ය කොටසක් විය යුතු බව ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළාය.














