ශ්‍රී ලංකාවේ පොදු මාර්ගවල දැනට පවතින වේග සීමාවන් යාවත්කාලීන කර ලබන මාර්තු මස 31 වැනිදාට පෙර ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තු වන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව නිවේදනය කරයි. එහි සභාපති මංජුල කුලරත්න මහතා සඳහන් කළේ මෙම සංශෝධන කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බවයි. මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සහ රථවාහන ගමනාගමනය වඩාත් ක්‍රමවත් කිරීම මෙම පියවරේ ප්‍රධාන අරමුණ වී තිබේ.
නව සංශෝධන යටතේ අනතුරු බහුල සහ ජනාකීර්ණ ප්‍රදේශ ආශ්‍රිත මාර්ගවල වේග සීමා පහත දැමීමට තීරණය කර ඇති අතර, නවීන පහසුකම් සහිත බාධාවකින් තොරව ගමන් කළ හැකි මාර්ග සඳහා පවතින වේග සීමාවන් ලිහිල් කිරීමට ද අවධානය යොමු කර ඇත. මේ සඳහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සකස් කිරීම සහ අදාළ මාර්ග සලකුණු ප්‍රදර්ශනය කිරීමේ කටයුතු කඩිනමින් අවසන් කිරීමට නියමිතය. රිය අනතුරු අවම කිරීම මෙන්ම මාර්ග තදබදය පාලනය කිරීම මෙහි මූලික ඉලක්ක බව සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














